Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 65වන කොටස

Sihina Siththarawi

තමන්ව හොයාගෙන ආවෙ කවුරු වුණත් ඒ කෙනා අරං ඇවිත් තිබුණෙ නෙල්සන් ඇල්කඩුවගෙ පණිවිඩයක් නොවෙන බව විසල් හොඳාකාරවම දැනගෙන හිටියා. ගොඩක් දුරට ඒක ලොයිඩ් ඇල්කඩුවගෙ හරි සුරේෂ් බාලචන්ද්‍රන්ගෙ හරි පණිවිඩයක් වෙන්න පුළුවන් බවයි විසල්ගෙ යටිහිත ඊළඟ තත්පරයෙ උඩුහිතට මතක් කරල දුන්නෙ. ඒ වගේම ඒක තමන්ට කොහෙත්ම හිතකර පණිවිඩයක් වෙන්න බැරි බවත් විසල් දැනගෙන හිටියා.

‘ආවෙ කොයි වගේ දෙන්නෙක්ද කියල මතකද අම්මෙ..? ’

‘කොහොම අදුනගන්නද විසල්..? දෙන්නම හෙල්මට් ගලවන්නෙත් නැතුව කතා කළේ… ඔයා නැහැයි කිව්ව හැටියෙම විදිල්ල වගේ ආපහු ගියා මිසක් කිසි දෙයක් අහගන්න වුණේ නෑ… ’

රීටාගෙ කටින් ඒ වචන ටික පිටවෙද්දි විසල්ගෙ හිතේ ඇතිවුණු සැකය තව දුරටත් තහවුරු වුණා. ඒත් සියට සීයක්ම ඒ ගැන සැකහැර දැනගන්න තීරණය කරපු විසල්, අම්මා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉවසීමෙන් බලාගෙන හිටියා; නෙල්සන් ඇල්කඩුවගෙ මැතිවරණ කාර්යාලයට ඇමතුමක් ගන්න.

‘හලෝ… විසල් අයියෙ, දැං කොහොමද අත?’

‘ලොකු අවුලක් නෑ නිශාන්ත… මැහුම් දාල නිසා ටිකක් රිදෙනවා, එච්චරයි. කොහොමද දැනගත්තෙ?’

‘කොහොමද කියන්නෙ… අපිට සිද්ධිය වෙලා පැයක් යද්දිම ආරංචි වුණා. අර… පාට් ටයිම් වැඩ කරන්න ආව කැම්පස් මල්ලි කෙනෙක් තමයි කෝල් එක දුන්නෙ. දැනගත්ත ගමං අපි එන්ඩ හැදුවෙ. ඒත් කාව්‍යා මිස් කිව්වා අවුලක් නෑ, සේරම හරියි කියල… ’  

‘ඒක නෙමෙයි නිශාන්ත… ඊයෙ රෑ ඔෆිස් එකේ කවුද හිටියෙ..?’

‘මං හිටියා. තව… එකෙක් දෙන්නෙක් ඇරෙන්ඩ අපේ කොල්ලො ටිකත් ඔක්කොම වගේ හිටියා. ඇයි අයියෙ..?’

‘එතකොට අද උදේ..? ’

‘අද උදෙත් සෙට් එකම හිටියා විසල් අයියෙ… මොකක්ද සීන් එක?’

‘ඊයෙ මාව හොයාගෙන කවුරු හරි ආවද කියහං? බයික් එකකින්?’

‘ආ… විසල් අයියෙ, තව පොඩ්ඩෙං අමතක වෙනවනෙ. දෙන්නෙක් ආවා… හැබැයි ඊයෙ නෙමෙයි; අද පාන්දර…’

‘ඇවිල්ල මොනවද ඇහුවෙ..?’

‘වැඩි දෙයක් ඇහුවෙ නෑ. විසල් අයියව තමයි හෙව්වෙ… හැබැයි අයියෙ අපි එකෙකුටවත් උං දෙන්නව එච්චර ඇල්ලුවෙ නෑ…’

‘ඒ කිව්වෙ..? ’

‘නෑ ඉතිං… පහුගිය ටිකේම සිද්ධ වෙච්ච දේවලුත් එච්චර හොඳ නෑ නෙ. අනික උං දෙන්න කතා කරපු විදියෙංම අපිට තේරුණා ඇවිත් තියෙන්නෙ හොඳකට නෙවෙයි කියල. ඒ හින්ද ටිකක් කල්පනාවෙන් උත්තර දුන්නෙ. ඊයෙ හවස සීන්කෝන් මුකුත් කියන්න ගියේ නෑ…’

‘ඒක හොඳයි… ආව එවුංගෙ මූණු මතක නැද්ද..? ’

‘ලොකුවට දැක්කෙ නෑ අයියෙ. එකෙක්වත් හෙල්මට් ගැලෙව්වෙ නෑ…  ෆුල්ෆේස් දාල, ජැකට් දාල හිටියෙ දෙන්නම. ආවෙත් හොඳ හයිස්පීඩ් භාණ්ඩෙකිං.  හැබැයි විසල් අයියෙ ඒ එක ඩයල් එකක් නං මට යාන්තමට වගේ හුරුයි… ’

‘කවුද..? ’

‘එහෙම හරියටම මතකයක් නෑ… බයික් එකේ පිටිපස්සෙ හිටපු එකා. බළල් ඇස් දෙකක් තිබ්බෙ ඌට. ගේට්ටුව ළඟ ගහල තිබ්බ ලයිට් එක උගේ මූණට වැටෙද්දියි මං ඒක හොඳටම දැක්කෙ. ඌ එක වචනයක්වත් කතා කළේ නෑ. හැබැයි විසල් අයියෙ මටනං හිතෙන්නෙම… මං ඌව මීට කළිං කොහෙදි හරි දැකල තියෙනව කියලමයි… ’

‘බළල් ඇස්..? ’

‘ඔව් විසල් අයියෙ… මට හොඳටම හුරුයි ඌව. නිකං කොල පාටට හුරු ඇස් දෙකක් තිබුණෙ. හැබැයි ඩයල් එක එහෙම්පිටින්ම දැක්කෙ නෑ හරියටම. අපේ කොල්ලො දෙන්නෙක් බයික් එක යන්න ඇරලා පොඩි ෆලෝ එකක් දුන්නා. ඒ වුණාට ඒ අස්පයා අල්ලන්ඩ ලේසි නෑ අයියෙ. අපේ එවුං දෙන්න හැරෙන්ඩත් කලිං උං ලේන් එකේ එහා කෙළවරේ…’

වටපිටාව එන්න එන්නම දරුණු වෙන බව දුරකථන සංවාදය කෙළවර වෙද්දි විසල් හොඳින්ම තේරුම් ගත්තා. ප්‍රවේසම ගැන නොහිතුවොත්, ඕනම වෙලාවක, ඕනම දෙයක්, ඕනම විදියකට සිද්ධ වෙන්න ඉඩ තියෙන බවත් යටිහිත විසල්ට කෙඳිරුවා.

ජංගමයා කෑ ගහන්න පටන් ගත්තෙත් ඒ මොහොතෙමයි.

‘විසල්… දැං කොහොමද ඔයාට..? ’

‘දැන්නං ගොඩක් හොඳයි කාව්‍යා මිස්… ’

‘හොඳ වුණාට කමක් නෑ… ඔෆිස් එක පැත්ත පළාතෙ එන්නෙ නෑ අත හොඳටම සනීප කරගන්නකල්. තේරුණාද ළමයට? ’

ඒ කටහඬ පුරාම රැඳිල තිබුණෙ හිත හිරිවැටිලා යන තරම් ප්‍රේමණීය බවක්. ලොකු ඇස් අයිතිකාරිට තමන් ආදරය කරන්නවත් පටන් අරගෙනද කියලා විසල්ට එක මොහොතකට හිතුණා… නැත්නම් හැම දෙයක්ම මෙච්චර ලස්සනට පේන්නෙ, දැනෙන්නෙ කොහොමද?

උද්ගත වෙලා තිබුණු හැම භයානක ප්‍රශ්නයක්ම පැත්තක තියලා විසඳන්න හිතෙන තරම් ආකර්ෂණීය බවක් ඒ ප්‍රශ්නය ඇතුළෙ විසල්ට පෙනුණා. ඒත්… අවසර නැති උයනක, මිල අධික මල් පඳුරක පිපුණු මලකින් එහා හැඟීමක් ලොකු ඇස් අයිතිකාරි ගැන තියාගන්න තමන්ට අවසර නැති බවයි ඒ මොහොතෙම විසල්ගෙ යටි හිත විසල්ට සිහිපත් කළේ.

‘ඒක නෙමෙයි විසල්… ඔයාට හිතෙන්නෙ නැද්ද මේ දේවල් පිටිපස්සෙ සුරේෂ් ඉන්නව කියල..?’

— මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

සිහින සිත්තරාවි 64වන කොටස >> http://www.gossipking.lk/2017/01/09/33924/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.