Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 64වන කොටස

Sihina Siththarawi

අම්මා තරම්ම ආදරයකින් ලොකු ඇස් අයිතිකාරිත් තමන්ට බත් කවන්න ඉදිරිපත් වුණේ කිසිම දෙයක් හිතන්න ඉඩක් ඉතුරු නොකරමයි. ඒ ආදරණීය හිතවත්කමට අවනත නොවී ඉන්න විසල්ගෙ හිත ඉඩ දුන්නෙ නෑ. විසල්ගෙ ඇඳේම පැත්තකින් හරිබරි ගැහිලා ඉඳගත්ත ඒ ආදරණීය හදවතේ අයිතිකාරි, ආදරයත් යහමින් කළවම් වුණු බත් කටක් විසල්ට ළං කළා. ඒත් විසල්ට ඕන වුණේ ලොකු ඇස් අයිතිකාරි දිහාම තවත් ටික වෙලාවක් බලාගෙන ඉන්න.

‘මොකද ළමයො බලං ඉන්නෙ? ආ… කට අරින්නකො… ’

‘මිසුත් හරියට අපේ අම්මා වගේ…’

‘ඇයි ඒ..? ’

‘හේතුවක් නෑ… ඒත් මට එහෙම හිතෙනවා. කාව්‍යා මිසුත් සමහර වෙලාවට වැඩ කරන්නෙ එයා වගේ…’

‘ෂුවර් එකටම ගෙදරදි අතින් කන්න කම්මැලිකමට හොර ලෙඩ ගන්නවා ඇති නේ..? ’

‘මිස්ට කොහොමද ඒක හරියටම හිතුණෙ..? ’

‘කවන්නද කියල අහද්දි මං දැක්කනෙ හිනාවක් ගිය හැටි… මට හිතුණා ඉතිං මොකක් හරි පරණ කතාවක් මතක් වෙන්න ඇතියි කියලා. ’

ලොකු ඇස් අයිතිකාරිටත් තියෙන්නෙ තමන්ගෙ අම්මට නොදෙවෙනි ඉවක් බව විසල් පලවෙනි වතාවට හරියටම තේරුම් ගත්තා. තමන් හැරෙද්දිත් ගොඩාක් දේවල් ඉවෙන් තේරුම් ගන්න අම්මා ගැන විසල්ගෙ හිතේ තිබුණෙ කියල කෙළවර කරන්න බැරි තරම් ආදරයක්. කාව්‍යා ඉන්දීවරී ගැනත් ඒ තරම්ම ගැඹුරු ආදරයක් හිතේ පැලපදියම් වෙද්දි විසල් ඒ ලොකු ඇස්වල පිරිල තිබුණු හැඟීම් එකින් එක කියවන්න උත්සාහ කළා.

ගෙදර එන්න පිටත්වෙද්දි කොයි තරම් කිව්වත් විසල්ට තනියම ගෙදර යන්න ලොකු ඇස් අයිතිකාරි ඉඩ දුන්නේ නෑ. ආරක්ෂක පියවරක් විදියට දුවගෙ ගමන් බිමන් තාවකාලිකව සීමා කරන්න නෙල්සන් ඇල්කඩුව තීරණය කරලයි තිබුණෙ. ඒත් විසල්ව ත්‍රීවීල් එකක ගෙදර යවන්න දූ වගේම තාත්තත් කැමති වුණේ නෑ. රතුපාට හයිබ්‍රිඩ් කාර් එක වලවල් වල වැටි වැටී කුණු ඇල අද්දරින් වැටුණු පාර දිගේ ඉස්සරහට ඇදෙද්දි විසල් ඇස් දෙක පියාගෙන සිද්ධවුණු හැම දෙයක් ගැනම ආයෙ ආයෙත් කල්පනා කළා.

‘අම්මේ… ’

‘විසල්..? ’

දවස් ගාණකින් ගෙදර එන තමන්ගෙ එකම පුතාව දකිද්දි රීටාගෙ හිත පුරා පැතිරුණු ප්‍රීතිය එක මොහොතකින් වේදනාව පිරුණු කුතුහලයකට පෙරළන්න විසල්ගෙ අත වෙළල තිබුණු බැන්ඩේජ් එකට පුළුවන් වුණා.

‘මොකද පුතේ වුණේ… ඇයි මේ අත..?’

‘බයවෙන්න එපා අම්මෙ… මේ පොඩි තුවාලයක්… මම කියන්නම්කො හෙමින් සැරේ… ’

එහෙම කියාගෙනම විසල් ගෙට ඇතුල් වුණා. තමන්ගෙ ස්වාමිදූගෙ විශේෂ උපදෙස් පරිදි විසල්ව එයාගෙ ගෙදරට ඇරලවන්න ආව ඩ්‍රයිවර් ජයසේන ඒ පාරෙම තවත් ටිකක් ඉස්සරහට ගිහිං තමන්ගෙ වාහනය හරවගත්තා.

‘කියනව බලන්න… මොකද වුණේ… පේන විදියටනං පොඩි තුවාලයක් වෙන්න බෑ… ’

‘අයියෝ… බයවෙන්න එපා අම්මෙ… එච්චර ලොකු දෙයක් නෙමෙයි. අනික ඔහොම කලබල වුණොත් ඉතිං මාව නෙමෙයි, ඔයාව තමයි ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙන්නෙ… ’

‘තුවාලෙ තරම පේනව බැන්ඩේජ් එකෙන්…’

සිද්ධවුණු දේ ගැන හරියටම දැනගෙන මිසක් අම්මා තමන්ගෙ ප්‍රශ්න කිරීම නතර නොකරන බව විසල් අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. ඒ නිසාමයි පුළුවන් තරම් සැර බාල කරලා හරි කතාව කියල නිදහස් වෙන්න විසල් තීරණය කළේ.

‘එතකොට එච්චර දෙයක් වෙලා, ඉස්පිරිතාලෙත් ඉඳල… දැනුයි මට කියන්නෙ?’

‘කිව්වනං ඉතිං බය වෙලා රෑ ම දුවගෙන එනවනෙ…’

‘විසල්… මගෙන් දැං ගුටිකනවා ඔයා… ඇයි ළමයො මං බයවෙන්නෙ නැතුව වෙන කවුද ඔයා ගැන බයවෙන්නෙ..? කියනව බලන්න…’

‘හරි ඉතිං… දැං ප්‍රශ්නයක් නෑ නෙ… මම ගෙදර ආවනෙ යහතින්… ’

‘ආව තමයි. යනවකො බලන්න මීට පස්සෙ ඔය වගේ රණ්ඩුවලට පැටලෙන්න… අඬු කඩනව ගිහිං අහු වුණොත්… ’

ආදරය පිරුණු හඬින් එහෙම තරවටු කරපු රීටා විසල්ගෙ කණ මිරිකුවා.

‘ඒක නෙමෙයි විසල්… ඔය සිද්ධිය ගැනයි, ඔයා ඊයෙ රෑ ඉස්පිරිතාලෙ හිටපු බවයි නෙල්සන් මහත්තය ළඟ වැඩ කරන අය දන්නැද්ද?’

රීටා එක පාරටම එහෙම අහද්දි විසල් ගැස්සිලා ගියා.

‘ඇයි අම්මා එහෙම අහන්නෙ..?’

‘නෑ… අද උදේම ඔයාව හොයන්න මෝටර් සයිකලේකිං දෙන්නෙක් ආවා. ඒකයි… ’

‘මාව හොයාගෙන…?’

‘ඔව්… නෙල්සන් මහත්තයගෙ පණිවිඩේකට කියල කිව්වෙ…’

 — මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

සිහින සිත්තරාවි 63වන කොටස >> http://www.gossipking.lk/2017/01/06/33748/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top