Gossip

උසස් පෙළ හොරට ලියූ 80කගේ ප්‍රතිඵල අත්හිටුවයි

al

පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට වෙනත් දිස්ත්‍රික්කවලින් වංචනික ලෙස අධ්‍යයන පොදු සහතික පත්‍ර…(උසස් පෙළ) විභාගයට පෙනී සිටි පාසල් අයැදුම්කරුවන් අසූ දෙනකුගේ විභාග සම්පූර්ණ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවූ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව ඔවුන්ගේ ඉසෙඩ් ලකුණු, දිස්ත්‍රික්කයේ ස්ථානය සහ ලබාගත් ශේ‍ර්ණි යන සම්පූර්ණ ප්‍රතිඵලයම අත්හිටුවා ඇත.

මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. එන්.ජේ.පුෂ්පකුමාර ‘මව්බිම’ට පැවැසීය.

ඉකුත් අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගයට මේ අයැදුම්කරුවන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද යන පළාත්හි පාසල්වලින් ඉදිරිපත් වී ඇතැයිද හෙතෙම කීය.

පිට පළාත්හි අයැදුම්කරුවන් වංචනික ලෙස විභාගයට පෙනී සිටින බවට අධ්‍යාපන අමාත්‍යාංශයට හා විභාග දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි අනුව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙසින් විමර්ශන තුනක් පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් එම පරීක්ෂණ පවත්වා වාර්තා ලබාදී තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවැසීය.

එම වාර්තා පදනම් කරගෙන වයඹ පළාතේ පාසල් දෙකක විදුහල්පතීන්ගේ වැඩ තහනම් කළ බවද අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට කීවේය.

සමාජයේ උසස් තලයේ සිටින වෛද්‍යවරුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ නිලධාරීන්ගේ දරුවන්ද මේ වංචනික ක්‍රියාවට සම්බන්ධ වූ අයැදුම්කරුවන් අතර සිටිතියි කියති.

කලක් තිස්සේ සිදු කරගෙන ගිය මේ විභාග වංචාව අවසන් කිරීම සඳහා තරාතිරම නොබලා දඬුවම් පැමිණ විය යුතු බව පෙන්වා දී ඇති අධ්‍යාපන ඇමැතිවරයා මෙවැනි වංචා නිසා අහිංසක දක්ෂ දරුවන්ට අසාධාරණයක් සිදුවන බැවින් දැඩි පියවර ගත යුතු යැයිද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දයා පෙරේරා
මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.