Gossip

බලෙන් ආදරය ගන්න ගිය තරුණ නොසංඩාලයට කාලි මෑණියන්ගෙන් වස බඳුනක්

love

දේව බැල්ම හරහා විස්මයජනක අද්භූත දේවල් මෙන්ම සිතාගත නොහැකි අපූරු කාරණා සිදුවන බවට කාලිදේවමෑණි ඇදහිල්ල අපට සාක්ෂි සපයනු ඇත. දූෂ්ට පාපිෂ්ඨ මිනිසාහට දෙන දඬුවම්ද අසරණයන්ට පිහිටවීමද, ලෙඩ රෝග ජීවිතයේ දුක් කරදර පිටුදැකීමද කාලිමැණි පිදුම හරහා ලබාදෙන අයුරු ඔබ පුදුම කරවන සුලුය.

ඔබට අද සිට කියන මේ කතා පෙළ මහේන්ද්‍ර සාමි පූජකතුමාගේ අත්දැකීම් අනුසාරයෙන් ලියැවෙන්නකි.

එතුමා හලාවත කුරුණෑගල පාරේ සේදවත්ත හන්දියේ කාලි කෝවිලේ අධිපති සාමිතුමන්ය.

කාලි මෑණියන්ගේ නම ඇසූ පමණින් ඇතැම්හු බියවෙති. ඇය යක්ෂණියක්, පොඩ්ඩ වැරදුණු ගමන් දඬුවම් දෙනවා, බිලිගන්නවා ආදී මතයන් සමහරුන්ගේ සිත් සතන් තුළ පැළ පදියම් වී තිබේ. නමුත් සත්‍ය තත්ත්වය එය නොවේ.

කාලි මෑණියන් දඬුවම් ලබා දෙන්නේ වරදකරුවන්ටය. කිසියම් තැනැත්තෙක් හෝ තැනැත්තියක් අයුක්තියකට අසාධාරණයකට නැතිනම් හිංසනයකට ලක්වී මෑණියන්ගේ පිහිට පැතුවොත් දෙවරක් නොසිතාම ඇය සරණක් වන්නීය. වරද සිදුකළ අයට දඬුවම්ද ලබාදෙන්නීය.

මාතර දික්වැල්ලට නුදුරුව පිහිටි ගමක මවත්, පියාත් ඔවුන්ගේ යොවුන් වියේ පසුවූ දියණියත් සතුටෙන් සමඟියෙන් ජීවත් වූහ. අක්කර පහක් පමණ වූ පොල් වත්තක් මැද පිහිටි ඔවුන් විසූ නිවෙස පැරණි සහ තරමක විශාලත්වයකින් යුත් එකක් විය. මොවුන් ගම්මුන් සමඟ ළඟ ඇසුරක් නොපැවැත්වූ නමුත් කිසිවකු ඉල්ලීමක් කළහොත් උදව්වක්, උපකාරයක් කළ කිසිවකුටත් කරදරයක් නැතිව දිවි ගෙවූ පවුලකි.

පියාගේ නම සිරිවර්ධනය. මවගේ නම අනුලා වූ අතර දියණිය ප්‍රියංවදාය.

සිරිවර්ධන කලක් රැකියාවක නිරතව සිට පසුව ඉන් ඉවත්වී දේපළ ඉඩකඩම් රැකබලා ගනිමින් සිටි අතර මව යහපත් ගෘහණියක් වූවාය. එකම දියණිය මනා රූ සපුවකින් යුතු විනීත ගති පැවතුම් ඇති තරුණියකි. මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ ඇය සරසවි වරම් අහිමිවීමෙන් අනතුරුව නිවෙසට වී මවගේත් පියාගේත් වැඩකටයුතුවලට හවුල්වෙමින් කල් ගෙව්වාය.

මෙසේ කල්ගත කළ ප්‍රියංවදා මාතර නගරයේ පරිගණක පාඨමාලාවක් හැදෑරීමට යොමුවන්නේ ඇයගේ පාසල් මිතුරියන් කිහිපදෙනකුගේ ඉල්ලීමටය. මාතර නගරයට යෑමට බස් රථයකට නැඟීීම සඳහා ඇය කිලෝමීටරයකට ආසන්න දුරක් පා ගමනින් යන්නීය.

මේ යන අතරතුරේ ගමේ එක්තරා නොසණ්ඩාල තරුණයෙක් ආදරය ඉල්ලා ඇයගේ පසුපස එන්නට විය. ප්‍රියංවදා මේ පිළිබඳව මවත්, පියාත් දැනුවත් කළාය. මේ මවුපියන් කිසිදිනෙක අඬදබරවලට නොගිය අය වූ අතර දියණිය සිය කැමැත්තෙන්ම නගරයේ පරිගණක පන්තියට යන ගමන අතරමඟ නවතා දැමුවාය.

වත්තේ වැඩ කරන කුලීකරුවන්ට තේ වතුර ටිකක්, බනිස් ගෙඩියක් ගෙන ගොස් දෙන්නේ ප්‍රියංවදාය. වත්තේ ඇවිදින ප්‍රියංවදාගේ ආරක්ෂකයා ලපයාය. ලපයා යනු ප්‍රියංවදා බෙහෙවින් ආදරය කරන බලු සුරතලාය.

දිනෙක වත්තට වැඩට පැමිණි කුලීකරුවන් අතර ආදරය ඉල්ලා ඇය පසුපසින් පැමිණි තරුණයාද සිටියේය. ඔහු සිතා මතාම වත්තේ වැඩට පැමිණියා විය හැකිය. පාන් කන්නට හොදි සමඟ තේ වතුරද රැගෙන වත්තේ කෙළවරක වැඩ කරමින් සිටි කුලීකරුවා වෙත ප්‍රියංවදා ගියේ ඔහු කරදරකාරී තරුණයා බව නොදැනය. කුලීකරුවා හැඳිනගත් තරුණිය තිගැස්මකට ලක්වුවත් ඒ බව නොඅඟවා රැගෙන ආ ආහාර පාන ඔහු වෙත දිගු කළාය. ප්‍රියංවදාට සිතින් පෙම් බැඳි තරුණයා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. ඔහු ඇයගේ අතින් අල්ලා ගත්තේ අතවරයක් කිරීමට නොව ආදරයටය.

බියට පත් තරුණිය හඬ නඟා කෑගැසුවාය. ඇයගේ ආරක්ෂකයා වූ ලපයා ඇය අසලම සිටි අතර ඌ තරුණයාව පැන පැන සපාකන්නට විය. ප්‍රියංවදා විගසින් ගෙදර දිවගියාය. කිසි දිනෙක අඬදබරවලට නොගිය සිරිවර්ධන මහතාගේ ඉවසීමේ සීමාවත් ඉක්මවා ගොස් තිබිණි. බල්ලා සපා කෑමෙන් ලේ පෙරාගෙන තුවාල සහිතව සිටි තරුණයාට සිරිවර්ධන මහතා පහර කිහිපයක් එල්ල කර පලවා හැරියේය.

බල්ලා සපාකෑම නිසා ඔහුගේ පාද දෙකම දරුණු ලෙස තුවාල වී තිබූ අතර සිරිවර්ධනගේ පහරදීමෙන් උරපත්තේ තැල්මක්ද ඇතිවී තිබිණි.

සති කිහිපයක් ගතවෙද්දී තැළුම් සහ තුවාල සුව වුවත් මේ සිද්ධියෙන් ඔහුගේ සිතට සිදුව තිබූ තුවාලය සුවවූයේ නැත. සිරිවර්ධන මහතාවත් ඔවුන්ගේ බල්ලාවත් මරාදැමීමට තරම් වෛරයක් ඔහුගේ සිතෙහි දලුලා වැඩෙමින් තිබිණි.

මේ තරුණයාට යහළුවන් සිටියේ නැත. දාමරිකයන් සමඟ ඇසුරක් තිබුණේද නැත. පොලිසියට සහ නීතියට ඇති බය නිසා හෙතෙම එළිපිට කිසිවක් කිරීමටද මැළිකමක් දැක්වූයේය. සිරිවර්ධනටත් බල්ලාටත් දඬුවමක් ලබාදීමට අවසානයේදී ඔහු තෝරාගත්තේ අල්ලපු ගමේ කට්ට¾ඩියකුවයි. තරුණයා කට්ට¾ඩියා ලවා සිරිවර්ධන මහතාටත් බල්ලාටත් කොඩිවින කරන ලද අතර ප්‍රියංවදාට කිසි දිනෙක කිසිවකු සමඟ විවාහ විය නොහැකි වන ලෙස ගුරුකමක් කළේය.
මාස කිහිපයක් ගතවිය. මාතර නගරයේ බෝධිය අසල කහ ඉරෙන් පාර මාරුවෙද්දී සිරිවර්ධන මහතාව බීමත් රියැදුරකු පදවන ලද මෝටර් රථයක ගැටුණි. දින හතරක කාලයක් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම ආදරණීය බිරියත් එකම දියණියත් මොලොව නතිකර දමා සදහටම දෙනෙත් පියා ගත්තේය.

අනුලා නම් වූ මවත් ප්‍රියවංදා දියණියත් අක්කර පහක පොල්වත්ත මැද පිහිටි පරණ ගෙදරක හුදකලා විය. වත්ත ටිකෙන් ටික වල් බිහි වෙන්නට විය. ගමේ කොල්ලො කුරුට්ටෝ මහ දවල් වත්තට පැන පොල් කැඩූහ. ලපයා නිසා කිසිවකු ගෙමිදුලට පැමිණියේ නැත. තවත් සති කිහිපයක් ගතවෙද්දී ලපයාගේ පාද පණ නැති විය. සතාව ගේ පිටුපස මඩුවක රඳවා තබා පශු වෛද්‍යවරයකුද ගෙන්වා ප්‍රතිකාර ලබාදුන් නමුත් උෟ සුවපත් වූයේ නැත. ආහාර පාන ළඟටම දෙමින් ප්‍රියංවදා උෟව මැරෙන්නට නොදී රැක බලා ගත්තාය.

මෙලෙස මාස කිහිපයක් ගතවිය. දැන් ගෙදරට කවුරුන් හෝ හොර හතුරෙක් ආවත් අනතුරු අඟවන්නට බල්ලෙක්ද නැත. ඇහැට කනට පෙනෙන තරුණ දියණිය රැක ගන්නේ කෙසේදැයි අනුලා මාතාවට හිතේ බරකි. ඇයට සුදුසු සහකරුවෙක් සොයාදීමට මව කල්පනා කළාය. ඒ අනුව ඇය පුවත්පත් කිහිපයකම මංගල දැන්වීම් පළ කළාය.

ඇය බැලීමට මනමාලයන් දහ ‍ෙදාළොස් දෙනකුම පැමිණි නමුත් හැමෝගෙම පිළිතුර වූයේ “පසුව දැනුම් දෙන්නම්” යන්න පමණය.

තමන් දිනෙන් දිනම අසරණ වෙමින් සිටින බව මවටත් දියණියටත් මේ වනවිට හොඳින්ම වැටහී තිබිණි. මේ අතර ඔවුන් හලාවත කුරුණෑගල පාරේ සේදවත්ත හන්දියේ කාලි මෑණියන්ගේ “අම්මන් නිවෙස” අසරණියන්ට පිහිට වී ඇති ආකාරය දැන ගත්තේය.

ඒ අනුව මවත් දියණියත් දෙදෙනා හලාවත කුරුණෑගල පාරේ සේදවත්ත හන්දියේ ඇති කාලි මෑණියන්ගේ “අම්මන් නිවෙස” කෝවිලට ගියහ. එහි මහේන්ද්‍ර සාමි ප්‍රධාන පූජකතුමන් හමුවී සියලු විස්තර ඔවුහු පවසා සිටියහ. මහේන්ද්‍ර සාමිට මවත් දියණියත් ගැන විශාල කනගාටුවක් මෙන්ම දුකක් ඉපදුණි. හෙතෙම කෝවිලෙහි කාලි මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියට ගොස් ඔවුන්ගේ දුක් ගැනවිල්ල පිළිබඳව කන්නලව් කළේය. මවගෙන් සහ දියණියගෙන් එහිදී වැටුණු කඳුළු කාලි මෑණියන් දිවනෙතින් දුටු බවට සැකයක් නැත.

මහේන්ද්‍රසාමි ඔවුන් වෙනුවෙන් පඬුරක් ගැටගසා සාධාරණයක් ඉටුවෙතැයි විශ්වාසයෙන්, භක්තියෙන් පැවැසුවේය.

දේව කන්නලව්වෙන් පසු ගත වූයේ දින 21ක් පමණි.

මාස කිහිපයක් පාද පණ නැතිව වැටී සිටි බල්ලා කෙමෙන් සුවපත් වී නැඟිට්ටේය. තවත් දින කිහිපයක් ගතවෙද්දී ප්‍රියංවදා බැලීමට පැමිණි ඇයට ගැළපෙන සහකරුවකුගෙන් කැමැත්ත ප්‍රකාශ කර දුරකථන ඇමතුමක් ලැබිණි.

මවගේත් දියණියගේත් දෑස්වල සතුටු කඳුළු පිරුණි. ඔවුන් දෙදෙනා හලාවත සේදවත්ත හන්දියේ කාලි මෑණියන්ගේ කෝවිලට පැමිණ බාරහාර ඔප්පු කළහ. තවත් ටික දිනක් ගතවෙද්දී ඔවුන්ට කොඩි වින කළ තරුණයා ඔහුගේ නිවසෙහි වූ අඬදබරයක් නිසා වස පානය කර මිය ගොස් තිබිණි.

සපුමල් ජයසේන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.