Paper Gossip

ටෙස්ට් තරග පරාජය වෙද්දී ජයග්‍රහණයක් සටහන් කළ රංගන

දකුණු අප්‍රිකාවේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක් වීම හේතුවෙන් බොහෝ දෙනාගේ කතා බහ සහ අවධානය ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසයට යොමු වීම නිසාම තරගාවලිය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නකු තැබූ එක් වාර්තාමය සටහනක් මෙකී පරාජයන්ගේ අඳුරු වලාවන්ට වැසී ගිය බවක් පෙනුණි.

එනම් දැන් පැවැත්වෙන දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා පිල පරාජයට පත්වුවද ශ්‍රී ලංකා පිලේ ප්‍රමුඛතම පන්දු යවන්නා වන රංගන හේරත් තම ක්‍රිකට් දිවියේ එක්තරා කඩඉමක් පසුගිය දෙවැනි ටෙස්ට් තරගයේදී පසු කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ පන්දු යවන්නන් සලකා බැලීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර පමණක් නොව ජාත්‍යන්තර පන්දු යවන්නන් අතරද පෙරමුණ ගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන්ය. ඔහු ටෙස්ට් තරග 133කදී කඩුලු 800ක් (ශ්‍රී ලංකාව වෙනුවෙන් 795+ අයි.සී.සී. කණ්ඩායම වෙනුවෙන් 5යි) ලබාගෙන ඇත. තවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු ලාභී දෙවැනියා වූයේ චමින්ද වාස්ය. ඔහු තරග 111කදී කඩුල 355ක් වාර්තා කොට තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර වැඩිම කඩුලු ලැබූ ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ සිටි වමත් දඟපන්දු යවන රංගන හේරත් මෙම ටෙස්ට් තරගවලියේදී මෙතෙක් ලබාගත් කඩුලු 06ත් සමඟ චමින්ද වාස් පසුකර ගොස් ඇත. එනම් 1997 සිට මේ දක්වා ක්‍රීඩා කරන රංගන හේරත් ටෙස්ට් තරග 77කදී කඩුලු 357ක් දවාගෙන ඇත. ඒ අනුව වත්මන් ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ටෙස්ට් කඩුලු දවාගත් ලැයිස්තුවේ රංගන පසුවන්නේ 21 වැනි ස්ථානයේය. ඔහුට පෙර 19 වැනි ස්ථානයේ හා 20 වැනි ස්ථානයේ සිටින්නේ පිළිවෙළින් පාකිස්තානයේ ඉම්රාන් ඛාන් (තරග 88කදී කඩුලු 362) හා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි (තරග 113කදී කඩුලු 362) යන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

එම නිසා දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේදී රංගන තවත් කඩුලු 6ක් ලබාගතහොත් ඉම්රාන් ඛාන් අබිබවා යා හැකිය. එම හපන්කම කරන්නට නම් ලබන බ්‍රහස්පතින්දා (12දා) ජොහැනස්බර්ග්හිදී ඇරැඹෙන 3 වැනි ටෙස්ට් තරගයේදී රංගනට අවස්ථාවක් ඇත. රංගන හේරත් දකුණු අප්‍රිකාවට එරෙහිව කළ අනෙක් දස්කම් (පසුගිය තරගයද ඇතුළුව) ගත් කල තරග 8කට ක්‍රීඩා කොට ලබාගෙන ඇත්තේ කඩුලු 31කි. තරග 8න් ඔහු දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩා කර ඇති තරග 5කදී කඩුලු 16ක් දවාගෙන ඇක. තවද ඔහු වාර්තා කර ඇති ටෙස්ට් කඩුලු 357න් කඩුලු 231ක්ම ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව තුළදීම තරග 41කදී වීමද විශේෂත්වයකි. ඔහු දෙවැනි වැඩිම කඩුලු ප්‍රමාණය හිමිකර ගෙන ඇත්තේ (24ක්) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය.

ජාත්‍යන්තර ටෙස්ට් තත්ත්වය ලැබූ රටවල් 9ටම එරෙහිව කඩුලු දවාගෙන ඇති රංගන කඩුලු 90ක් නොහොත් වැඩිම කඩුලු ප්‍රමාණය ලබාගෙන ඇත්තේ පාකිස්තානයට එරෙහිවය. එය තරග 19කදීය. දෙවැනි වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණය (60ක්) දවාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 11කදී වීමද විශේෂත්වයකි. තවද තම ටෙස්ට් දිවියේ ඉනිමකදී හොඳම පන්දු යැවීම පාකිස්තානයට එරෙහිව (127ට – 9යි) වාර්තා කර ඇති රංගන ටෙස්ට් තරගයක හොඳම පන්දු යැවීම සටහන් කරගෙන ඇත්තේද පාකිස්තානයටම එරෙහිව (184ට – 14යි) වීම කැපී පෙනේ.

සටහන – සිරිනාම
මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.