Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 63වන කොටස

Sihina Siththarawi

‘ඔයාව එහෙම අතෑරල දාල මට පරිස්සමෙන් ගෙදර යන්න කියලද විසල් කියන්නෙ?’

ලොකු ඇස් අයිතිකාරි කළින් වතාවටත් වඩා තියුණු හඬකින් අහපු ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න බැරුව විසල් තවත් මොහොතක් ගතකළා. ඒ කතාකරන ඇස්දෙක විසල්ගෙ උත්තරය බලාපොරොත්තුවෙන් දිගටම විසල් දිහා බලාගෙන හිටියා.

‘මම දන්නවා මිස් කවදාවත් එහෙම නොකරන බව… ඒත් මම ඒ වෙලාවෙ දෙයක් කළානම් එහෙම කළේ මේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. කාව්‍යා මිස්ට කරදරයක් වෙද්දි මට බලාගෙන ඉන්න බෑ පැත්තකට වෙලා… ’

‘ඔයා දන්නෙ නෑ විසල් මං එවෙලෙ කොච්චර බයවුණාද කියලා… ජීවිතේටම මම ඒ වගේ දේකට මූණදීලා නෑ… ඔයා ඒ වෙලාවෙ එතනට ආවෙ නැත්නම් මේ වෙනකොට මොනවා වෙලා ඇද්ද? ’

‘මටත් උතුර දකුණ මාරුවුණා මිස් ඒ වෙලාවෙ… ඒ වෑන් එක ගේට්ටුව ළඟට ආව විදියෙන්ම මට තේරුණා මොකක් හරි ලෙඩක් තමයි කියලා.’

‘මටත් එකපාරටම මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරිවුණා… අනික තාත්තිත් කොළඹ නැති දවසනෙ. දැන් නං මතක් වෙනකොටත් බය හිතෙනවා විසල්… ’

‘අර රේඩියෝ ඇඩ් එකේ සීඩී එක මිස් ළගනෙ තිබුණෙ. හෙඩ් ඔෆිස් එකෙන් කතා කරල කිව්වා ඉක්මණට ඕන කියලා. ඉතිං ඒක ගන්නයි මම කැම්පස් එකට ආවෙ. මිස්ට කතා කළාට ෆෝන් එක වැඩකළේ නෑ. ඉතිං මම එළියට වෙලා හිටියා මිස් එනකං…’

‘ලයිබ්‍රරි එකේනෙ හිටියෙ විසල්. ඒකයි ෆෝන් එක ඕෆ් කරල තිබ්බෙ…’

‘කොහොම වුණත් කාව්‍යා මිස්, ඔයා මීට වැඩිය පරිස්සම් වෙන්න ඕන. ඒ වෙලාවෙ නං මම හරි හිටියා. කවුරුත්ම නැති වෙලාවක් වුණානං මොකද වෙන්නෙ… හොඳ වෙලාවට දෙයියො බැලුවා වගේ මට එතනට එන්න ලැබුණෙ… තව තත්පර ගාණක් පරක්කු වුණානම් ඉවරයිනෙ..!’

උත්තර දෙන්න හදිස්සි නොවුණු කාව්‍යා ඉන්දීවරී, රෝහල් කාමරයෙ  කවුළුවෙන් එහා කෙළවරක් නොපෙනෙන අවකාශයට තමන්ගෙ ඇස් දෙක යොමුකළා. තට්ටු ගාණක උසකින් පිහිටලා තිබුණු ඒ රෝහල් කාමරයෙන් එළියෙ, ඈතින් ඈතට විහිදුණු ජනාකීර්ණ නගරය පවා කතාබහක් නැතුව ලොකු ඇස් අයිතිකාරි දිහා බලාගෙන හිටියා. විසල්ට ඒ නිහඬබව දැනුණා, කල්පයක් තරම් දිගට.

මං දන්නවා ඔයාව එවන්න ඇත්තෙ කවුද කියලා… ’

ඊළඟ මොහොතෙ නිහඬබව නොබිඳෙන තරම් හෙමින් තමන්ගෙ හඬ අවදිකරපු කාව්‍යා ඉන්දීවරී ජනේලයෙන් තමන්ගෙ ඇස් දෙක මෑත් නොකරම එහෙම කිව්වා.

‘කවුද මිස්..? ’

‘මගේ අම්මා… ’

එතනින් එහා දෙයක් ලොකු ඇස් අයිතිකාරි වෙනුවෙන් කියන්න ඕන වුණත්, විසල් ගොළුවුණා. කාව්‍යා ඉන්දීවරීගෙ ඒ කතාව ඇතුළෙ රැඳිල තිබුණෙ පුංචි දරුවෙකුගෙ හිතක විතරක්ම තියෙන්න පුලුවන් තරමේ අහිංසක විශ්වාසයක්.

ඇත්ත විසල්… ඒක මට හැම තිස්සෙම දැනෙන දෙයක්… අම්මා කොහේ හරි ඉඳලා මගේ දිහා බලාගෙන ඉන්නව කියලයි මට නිතරම හිතෙන්නෙ. හැමදාම මට කරදරයක් වෙද්දි එයා මගේ ළඟම ඉන්න කෙනෙක්ව එවනවා මාව එතනින් බේරගන්න…’

‘මිස් කාටවත් නරකක් කරන කෙනෙක් නෙමෙයිනෙ… ඉතිං මිස්ටත් නරකක් වෙන්න විදියක් නෑ…’

කාව්‍යා ඉන්දීවරී ගැන තමන්ගෙ හිතේ තියෙන්නෙ මොන විදියේ අදහසක් ද කියන කාරණය හරියට තේරුම් බේරුම් කරගන්න විසල්ට ඕන වුණා. මොකක්දෝ නොතේරෙන හැඟීමක් ඒ ලොකු ඇස් අයිතිකාරිත් එක්ක ගෙවෙන හැම මොහොතකම තමන්ගෙ හිත ඇතුළෙ පෙරළි කරන බව දැනිල තිබුණට ඒ හැඟීම ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න විසල්ට ඕනවුණේ නෑ. ඈත අහසේ දිලිසෙන තරුවක එළිය කොයිතරම් ලස්සන වුණත්, උල්කාපාතයක් මිස තරුවක් කිසි දවසක පොළොවට කඩාගෙන වැටෙන්නෙ නැතිබව විසල් දැනගෙන හිටියා.

‘ඒක නෙමෙයි, විසල් කාල ද ඉන්නෙ? ’

‘තාම නෑ මිස්… එච්චර බඩගින්නක් තිබුණෙ නෑ… ’

‘ඉතිං ළමයො බඩගින්නක් එනකල්ම බලාගෙන ඉන්න ඕනද කන්න..? හා හා… දැන් කාල ඉන්න… ’

අම්මා කෙනෙක් දරුවෙකුට කතාකරන තරම්ම ආදරණීය කේන්තියක් මූණට එකතුකරගත්ත ලොකු ඇස් අයිතිකාරි කෑම පිඟානක් තියල තිබුණු පුංචි ට්‍රොලිය ඇඳ ළඟට ඇදගත්තා. ඒ තරම් දරුණු බඩගින්නක් නොතිබුණත් ලොකු ඇස් අයිතිකාරිගෙ අණට කීකරු වෙන්න විසල් තීරණය කළා.

‘ඉන්න, මම ලෑස්ති කරල දෙන්නම්… කන්න පුළුවන්ද විසල් තනියම?’

කොයි තරම් පුළුවන් වුණත් ඒ වගේ ප්‍රශ්නයක් අහද්දි බැහැයි කියලා උත්තර දෙන්න විසල් පුරුදු වුණේ පුංචි කාලෙමයි. එහෙම කියද්දි අම්මා මොන වැඩක් කරමින් හිටියත් තමන්ට බත් කවන්න එන බව විසල් දැනගෙන හිටියා. අතීතය මතක් වුණු විසල්ගෙ මූණට සියුම් හිනාවක් එකතු වෙන හැටි ලොකු ඇස් අයිතිකාරිත් හොඳින්ම දැක්කා.

‘පුළුවන් මිස්… ’

‘අත ඔහොම තියාගෙන..?’

‘ටිකක් රිදෙනව නං තමයි… ඒත් ගාණක් නෑ… ’

‘පුදුම කතාවක්නෙ ළමයො ඒක… මැහුම් දාල නේද තියෙන්නෙ. ඉතිං හොල්ලන්න හොඳද?’

‘පොඩ්ඩක් රිදෙනව විතරනෙ මිස්. ප්‍රශ්නයක් වෙන එකක් නෑ…’

‘කෝ ඔහොම ඉන්න, මං කවන්නම්… ’

හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු මොහොතක එකපාරටම එහෙම කියපු ලොකු ඇස් අයිතිකාරි විසල් හිතන්නත් කළින් කෑම පිඟාන අතට ගත්තා.

— මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

සිහින සිත්තරාවි 62වන කොටස >> http://www.gossipking.lk/2017/01/05/33691/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.