Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 62වන කොටස

sihina

‘විසල්… උඹ එහෙනං අපේ ප්ලෑන් එක අවුල් කරලම දැම්මා..? ’

දුරකථනයේ අනිත් කෙළවරේ හිටපු සුරේෂ් බාලචන්ද්‍රන්ගෙ කටහඬ දරුණු කේන්තියකින් පිරිල තිබුණු බව විසල්ට හොඳින්ම දැනුණා.

‘මං දන්නවද සුරේෂ් උඹල එහෙම ප්ලෑන් එකක් ගහල තියෙන බව. අනික මම කෙරුවෙ ඒ වෙලාවෙ මගෙන් කෙරෙන්න ඕන යුතුකම… එච්චරයි. ඒ වගේම උඹලා කාව්‍යා මිස්ව උස්සන්න හදන බව දැනගෙන හිටියනං මං කීයටවත් ඒකට උදව් කරන්නෙ නෑ… ’

‘දැං එතකොට උඹ ද තීරණය කරන්නෙ මෙතන වැඩ කෙරෙන්න ඕන විදිය..? ’

‘මං උඹලගෙ වැඩවලට ඇඟිලි ගහන්නෙ නෑ සුරේෂ්… ඒත් මගේ ඇස් ඉස්සරහ එහෙම දෙයක් වෙද්දි උඹ මට කියන්නෙ බලාගෙන ඉන්න කියලද? ’

‘හරි හරි… දැං නෙ මට තේරුණේ… ඒ කියන්නෙ දැං උඹට වෙන කැක්කුමක් ඇවිල්ලද හාම්පුතයි දෝණියන්දැයි ගැන..? ’

‘මං කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි බං… මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ… අනික මං දන්නෑ ඒක උඹලගෙ වැඩක් බව… ’

‘අමතක කරන්න එපා විසල් උඹ මේ ගේම් එකේ තවත් එක ඉත්තෙක් විතරයි කියන එක. ගේම ගහන එකාට ඕන විදියට මිසක්, තමන්ට ඕන ඕන විදියට එහෙ මෙහෙ දුවන්න ඉත්තෙකුට බැරි බව මං අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ නෙ උඹට..? ’

‘හරි… දැං උඹ මට මොකද්ද කරන්න කියන්නෙ..? ’

‘අනවශ්‍ය වැඩවලට හොම්බ දාන්නෙ නැතුව හිටපං විසල්. එච්චරයි… මතක තියාගනිං උඹ ඔතන ඉන්නෙ වෙන ඩියුටියකට කියන එක… උඹව ඔතනට ගෙනාවෙ මම. උඹ ඔතන ඉඳලා කරන දේ වගේම උඹ කොච්චර කල් ඔතන ඉන්නවද කියන එකත් තීරණය කරන්නෙ මම… ඒ නිසා උඹට අදාල නැති දේවල් කරන්න යන්න එපා… එහෙම වුණොත් ඊළඟ වතාවෙ කපාගන්න වෙන්නෙ අත නෙමෙයි, බෙල්ල. තේරුණානෙ… ’

විසල් හිටියෙ කොයි මොහොතක හරි ඒ තර්ජනය බලාපොරොත්තුවෙන්. කාව්‍යා ඉන්දීවරීව පැහැරගැනීමේ උත්සාහය පසුබිමේ තියෙන්නෙත් ලොයිඩ්-සුරේෂ් කුමන්ත්‍රණයම බව විසල්ට අමුතුවෙන් පැහැදිළි කරල දෙන්න ඕන වුණේ නෑ. ඒ වගේම තමන්ගෙ ඇස් ඉදිරිපිට ඒ වගේ දෙයක් සිද්ධවෙනවා බලාගෙන ඉන්නත් විසල්ට හීනෙකින්වත් පුළුවන්කමක් තිබුණෙ නෑ.

තවදුරටත් ඒ භයානක කුමන්ත්‍රණයේ ඉත්තෙක් විදියට වැඩ කරන්න හෘද සාක්ෂිය තමන්ට ඉඩ නොදෙන බව තේරුම් ගත්ත විසල්, සිද්ධවෙන්න පුළුවන් ඕනම නරකකට මුහුණ දෙන්න හිත හදාගෙන එතනින් ඈත්වෙන්න ඒ මොහොතේ තීරණය කළා.

‘විසල්… ’

ලොකු ඇස් අයිතිකාරියි, නිරංජලායි රෝහල් කාමරයට ඇතුල්වුණේ පාලුව, කාන්සිය විසල්ව පිස්සු වට්ටවන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි.

‘ආ… දැං කොහොමද වීරයට?’

මනමාල හිනාවක් එක්ක මුලින්ම එහෙම ඇහුවෙ නිරංජලා.

‘දැං අත රිදෙන එක අඩුද විසල්..?’

‘දැං අඩුයි කාව්‍යා මිස්… මැහුම් දාපු එකේ වේදනාව තමයි තියෙන්නෙ ටිකක් සැරට. ඒකත් ඇරිලා යයි…’

‘දැන්නං සෑහෙන්න අඩුවෙයි නේද කවී… ’

‘නිරා..! ’

‘ඇයි ඉතිං… මම වැරැද්දක්ද කිව්වෙ… බලන්නකො බොරුනං… ’

කණ්නාඩිකාරිගෙ දෙපිට කැපෙන කතා ගාණකට නොගත්ත කාව්‍යා ඉන්දීවරී විසල්ගෙ අතට දාපු බැන්ඩේජ් එක තමන්ගෙ ඇඟිලි තුඩුවලින් හෙමින් පිරිමැද්දා. ඒ ස්පර්ෂයෙන් නිකුත්වුණු මොකක්දෝ සුවදායක හීතලක් වෙළුම්පටි අස්සෙන් රිංගලා ඇවිත් තමන්ගෙ අතට කාන්දු වෙන්න පටන් ගත්ත බවයි විසල්ට දැනුණෙ. ඊළඟ මොහොතේ ඒ හීතල තමන්ගෙ අත දිගේ හදවතට ගලාගෙන යන්න පටන් ගත්ත බව තේරුම් ගත්ත විසල් නිඬවම ඒ හීතල අත්වින්දා.

‘පිස්සුනෙ විසල්ටත්… ඔයිට වැඩිය දෙයක් වුණානම් එහෙම..?’

‘දැං මිස්ගෙ අත කොහොමද..? තාම අමාරුද?’

‘දැං හොඳයි… ටිකක් රිදෙනවා. ඒත් එච්චර ගාණක් නෑ… ඩොක්ටර් කිව්වා ප්‍රශ්නයක් නෑ කියල… ’

‘කවී… අනේ මට පොඩි බඩුවක් මතක නැතිවුණා කෙල්ලෙ. ඔයා විසල් අයියගෙ ලෙඩ බලලා හෙමින් සැරේ එන්න. මං චුට්ටක් එළියට යනවා හොඳේ… ’

එකපාරටම කොහේදෝ නැති හදිස්සියක් මවාගෙන එහෙම කියපු නිරංජලා, කාව්‍යා ඉන්දීවරී වචනයක්වත් කතාකරන්න කළින් රෝහල් කාමරෙන් එළියට ගියේ මනමාලකම පිරුණු, කට්ට කයිරාටික හිනාවකින් විසල්ටත් සංග්‍රහ කරගෙනමයි.

‘ඔයාට අද යන්න පුලුවන් විසල්… මං ඩොක්ටර් ගෙන් ඇහුවා. එයා කිව්වා ගියාට කමක් නෑ… හැබැයි මැහුම් කපනකල් ගොඩාක් පරිස්සම් වෙන්න කියලා… ’

‘මේක නැවතිලා බෙහෙත් ගන්න තරම් දෙයක් නෙමෙයි කාව්‍යා මිස්… කොහෙද ඉතිං, මම කිව්වට ඇහුවෙ නෑනෙ. අනික මේ වගේ ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක…’

‘ෂ්… වහන්නයි කිව්වෙ කට… ඒක ඔයාගෙ ප්‍රශ්නයක් නෙමෙයිනෙ. අනික දවසක් හොස්පිට්ල් හිටියා කියල මුකුත් වෙන්නෙ නෑ ළමයො… ’

කාව්‍යා ඉන්දීවරී ඊළඟ වචන ටික කිව්වෙ විසල්ගෙ ඇස් දිහා එක එල්ලේම බලාගෙන. ඒ ඇස්වල පිරිල තිබුණු හැඟීම හරියටම කියවගන්න කොයිතරම් උත්සාහ කළත් විසල්ට පුළුවන් වුණේ නෑ.

‘ඔයා හිතාගෙන හිටියෙ.. මං වෙනුවෙන් අච්චර අවදානමක් ගත්ත ඔයාව කොහේ හරි ඩිස්පෙන්සරියක් ගාව අතෑරලා දාලා මම හිත හදාගෙන ගෙදර යයි කියලද? ’

                                                                         — මතු සම්බන්ධයි —
                                                                       සෞම්‍ය සඳරුවන් ලියනගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top