Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 61වන කොටස

sihina-sittaravi

‘විසල්… ඔයාට ස්තූති කරන්න මම දන්න වචන මදි පුතා… දන්නවද? ඔයා අද බේරගත්තෙ මගේ ජීවිතේ වටිනාම වස්තුව… ’

නෙල්සන් ඇල්කඩුව එහෙම කියද්දි ඒ ඇස් ඇතුලෙ හිරවෙලා, එළියට පනින්න නලියපු කඳුලු බිංදු දෙක විසල් හොඳින්ම දැක්කා. රටේ ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෙක් වුණු නෙල්සන් ඇල්කඩුව මොන තරම් ප්‍රතාපවත් පුද්ගලයෙක් විදියට බාහිර සමාජය අඳුනගෙන හිටියත් ඒ මොහොතේ විසල් ඉස්සරහ හිටගෙන හිටියෙ ඒ කිසි කෙනෙක් නෙවෙයි. තමන්ගෙ එකම දුවට අසීමිතව ආදරය කරපු අහිංසක තාත්තා කෙනෙක් හැර වෙන කිසිම පුද්ගල ප්‍රතිරූපයක් ඒ කඳුලු පිරුණු ඇස් ඇතුළෙ හොයාගන්න විසල්ට බැරිවුණා.

‘මම ඔය කෙල්ලව පරිස්සම් කරන්නෙ මගේ ඇස්දෙක වගේ… මොන හේතුවකට හරි විසල්ට ඒ වෙලාවෙ එතනට යන්න හිතුණෙ නැත්තං මේ වෙද්දි මොනවයිං මොනවා වෙලාද කියන්න බෑ… ’

උරහිස ළඟ ඉඳලා වැලමිට දක්වා බැන්ඩේජ් කරපු තමන්ගෙ දකුණු අත හෙමින් පිරිමදින අතරෙම විසල්, නෙල්සන් ඇල්කඩුවගේ කතාව අහගෙන හිටියා. ලොකු ඇස් අයිතිකාරි ගැන අහන්න ඕන වුණත් ඒකට අවස්ථාවක් නොදීම නෙල්සන් ඇල්කඩුව කතා කරගෙන ගියා.

‘මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ කවුරු වුණත් මට ප්‍රශ්නයක් නෑ… කරන්න ඕන දේ මම දන්නවා. හැබැයි කවුරු වුණත් වැඩි දවසක් යන්න කළිං හොයාගන්න බැරි වෙන්නෙ නෑ විසල්… ’

‘සර්… කාව්‍යා මිස්ට දැං කොහොමද? ප්‍රශ්නයක් නෑ නෙ..? ’

‘දැං ප්‍රශ්නයක් නෑ… ගෙදර එක්කගෙන ගියා. අත පොඩ්ඩක් ඇඹරිලා කියලයි ඩොක්ටර්ස්ල කිව්වෙ. එක්ස්රේත් ගත්තා. විසල්ව බලන්න ඕනෙයි කියල මාත් එක්ක රණ්ඩුත් කළා. මමයි කිව්වෙ මම විසල්ව බලන්නම්, එයාට ගෙදර ඉඳලා ටිකක් රෙස්ට් කරන්න කියලා… ’

‘මට හිතාගන්න බැරි සර්… කොහොමද උං ටික ඒ වෙලාවටම හරියටම එතනට ආවෙ කියල. අනික කාව්‍යා මිස්ගෙ වාහනෙත් නැති දවසක්ම බලලා… මටනං හිතෙන්නෙ දවස් ගාණක් තිස්සෙ ප්ලෑන් කරල තියෙනවා උං මේ වැඩේ… ’

‘මටත් හිතාගන්න බැරි ඒකයි විසල්… පොලිසියත් කියන විදියට, උං හොඳට ප්ලෑන් කරලයි මේ වැඩේ කරන්න ඇවිත් තියෙන්නෙ. අනික මමත් ෆැක්ට්‍රි එකට යන දවස… වාහනෙත් සර්විස් එකේ… සේරම දේවල් ගැන හොඳටම දැනගෙන වැඩේට ඇවිත් තියෙන්නෙ. කොහොම වුණත් තව වැඩි දවසක් යන්න කලින් පොලිසිය හොයාගනියි කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ කියල. ඒ නැතත් මම දන්නවා හොයාගන්න හැටි… ’

නෙල්සන් ඇල්කඩුව එහෙම කියද්දි ඒ ඇස්වලට කේන්තිය, වෛරය වගේම පලිගැනීමත් ටිකෙන් ටික පිරෙන්න පටන්ගත්ත හැටි විසල් බලාගෙන හිටියා.

‘ඒව ගැන අපි පස්සෙ බලාගමු… දැන් කරන්න තියෙන්නෙ විසල් ඉක්මණට අත සනීප කරගන්න එක. මම හැම දේම බලාගන්නම්. විසල් කිසි දේකට බයවෙන්න එපා… ’

පැය කීපයක් ඇතුළත හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයට හැරුණා. කට උත්තර සටහන් කර ගැනීම් වගේම සුවදුක් විමසීම්, ප්‍රතිකාර කිරීම් වගේ දේවල් එකින් එක කෙළවර වෙද්දි නගරයේ ජනප්‍රියම පෞද්ගලික රෝහලක, මිල අධික කාමරයක හුදෙකලා වුණු විසල් තමන්ගෙ ඇඳට ඉහළින් තිබුණු සුදුපාට සීලිම දිහා බලාගෙන ආයෙත් කල්පනාවට වැටුණා.

වේදනා නාශක බෙහෙත්වල සැර වගේම සැරින් සැරේ උඩට මතුවුණු දකුණු අතේ වේදනාවත් අතරින් ඒ සිදුවීම ආයෙ ආයෙත් විසල්ගෙ ඇස් ඉස්සරහ දිගහැරුණේ චිත්‍රපටියක රූපරාමු පෙළක් එක දිගට දිගහැරෙන තරම් පැහැදිළිව.

‘විසල්… ඔයාගෙ අත හොඳටම කැපිලා..!’

ඒ තරම් වෙලාවක් තමන්ට නොදැනුණත්, අතේ තුවාලය තරමක් ගැඹුරට සිද්ධ වුණු එකක් බව වැඩි වෙලාවක් නොයා විසල්ට දැනුණා. වේදනාව වැඩිකමටම ටිකෙන් ටික අත හිරිවැටීගෙන යද්දිත් විසල් උනන්දු වුණේ කාව්‍යා ඉන්දීවරී ගැන විතරයි.

‘මිස්ට ප්‍රශ්නයක් නෑ නේද? ’

‘මොනවද ළමයෝ අහන්නෙ… මෙච්චර දෙයක් කරගෙනත් තාම මගේ ගැනද වද වෙන්නෙ? ’

ගාලගෝට්ටිය මැදම ප්‍රථමාධාර දෙන්න ඉදිරිපත් වුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයො කීප දෙනා විසල්ව බංකුවක් ළඟට එක්කගෙන යද්දිත්, විසල්ගෙ අත රෙදි පටියකින් වෙළද්දිත් ලොකු ඇස් අයිතිකාරි තමන්ගෙ අත අතනෑර හිටපු බව විසල්ට මතක්වුණා.

අඟල් ගාණක් දිගට වගේම හිතපු නැති තරම් ගැඹුරට කැපිලා තිබුණු දකුණු අතින් ගලාගෙන ගිය ලේ දහරාව නතර කරන්න හැමෝම ලොකු උත්සාහයක් දැරුවත් ඒක ඒ තරම් පහසු කටයුත්තක් වුණේ නෑ. පුළුවන් තරම් ඉක්මණට විසල්ව රෝහල්ගත කිරීම වඩාත් හොඳ බවයි කාගෙත් අදහස වුණේ. ඒත් විසල්ගෙ හිතේ ඊටත් වඩා බරපතල විදියට වැඩකළේ වෙන ප්‍රශ්නයක්.

‘මිස් කොහොමද දැං ගෙදර යන්නෙ..? ’

කලබල මැද ම, හුස්මක් පවා මුහුණේ වදින තරම් තමන්ට ළං වුණු කාව්‍යා ඉන්දීවරී ඊළඟ මොහොතේ කටින් පිටකරපු වචන කීපය රෝහල් කාමරයේ හිස් අවකාශය පුරා ආයෙ ආයෙත් දෝංකාර දෙන බව විසල්ට දැනුණා.

‘දෙන්න හිතෙනවා දෙකක් දැං මේ කොල්ලට… මෙච්චර දේකුත් කරගෙන, තාම මං ගැන හිතන්නෙ…’

අම්මා හැර වෙන කිසිම කෙනෙක් ඒ තරම් ආදරය පිරුණු හඬකින් තමන්ට කතා කරල නොතිබුණු බව විසල් තව වතාවක් සිහිපත් කළා.

                                                                                 — මතු සම්බන්ධයි —
                                                                                සෞම්‍ය සඳරුවන් ලියනගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top