Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 60වන කොටස

Sihina Siththarawi

වෑන් එක දෙවෙනි වතාවටත් වේගයෙන් රීඩ් මාවත පැත්තට ධාවනය වෙන අතරෙ විසල් ජංගමයා අතට ගත්තෙ තමන්ගෙ හදිසි පැමිණීම ලොකු ඇස් අයිතිකාරිට දැනුම් දෙන්න.

‘ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත… කරුණාකර පසුව අමතන්න… ’

දෙවෙනි වතාවටත් ඒ හඬ ඇහෙද්දි ඇමතුම විසන්ධි කරපු විසල් ජංගමයා පැත්තකින් තිබ්බා.

මොකක්දෝ අනියත බයකට සමාන හැඟීමක් අකුණක් වගේ හිත ඇතුලට රිංගලා, තියුණු නියපොතුවලින් තමන්ගෙ හිත පහුරු ගාන්න පටන් ගත්ත බව දැනුණත් ඒ හැඟීමේ අගක් මුලක් තේරුම් බේරුම් කරගන්න විසල්ට පුළුවන් වුණේ නැහැ.

නිරංජලාට කතා කිරීමේ අදහස ක්ෂණිකව හිතට ඇතුල් වුණත් ඒ වෙනුවෙන් පවා අමතර වෙලාවක් වැය නොකළ විසල්, වෑන් එකේ වේගය තව ටිකක් වැඩි කරා. ලොකු තදබදයක් නොතිබුණු පාරවල් කීපයක් දිගේ ඉදිරියට ඇදුණු වෑන් එක රීඩ් මාවතට හැරුණා තවත් මිනිත්තු කිහිපයක් ඇතුළත.

ප්‍රධාන ගේට්ටුවට ටිකක් ඈතින් වෑන් එක නතර කරන මොහොතෙමයි, අඳුරු කොළපාටක් ආලේප කරලා තිබුණු විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඉඳලා ප්‍රධාන ගේට්ටුව පැත්තට ඇවිදගෙන එන කාව්‍යා ඉන්දීවරී විසල්ගෙ ඇස්වලට මුණගැහුණෙ. එයාට අඩි දෙකතුනක් ඈතින් ඇවිදගෙන ආව කණ්නාඩිකාරි, නිරංජලාවත් යකඩ වැට අතරින් අඳුනගන්න විසල්ට ඒ තරම් අමාරු වුණේ නැහැ.
ඒක තනිකරම අහම්බයක් වුණත් ඒ තීරණාත්මක මොහොතේ තමන්ට එතනට එන්න ලැබීම වාසනාවක් බව විසල් තේරුම් ගත්තා ඊළඟ තත්පර දෙක තුන ඇතුළත.

යාළුවො දෙන්නා ප්‍රධාන ගේට්ටුව ළඟට එනවත් එක්කම තමන්ගෙ වෑන් එක පහුකරගෙන වේගයෙන් ඉදිරියට ඇදුණු තවත් සුදුපාට වෑන් එකක් විශ්වවිද්‍යාල ගේට්ටුව ඉස්සරහ නතර වෙනවා විසල් දැක්කේ අහම්බෙන්. මොකක්දෝ නොවිය යුතු දෙයක් සිද්ධවෙමින් තියෙන බව ඒ මොහොතෙම ක්ෂණිකව විසල්ට තේරුම් ගියා.

එක වතාවකට එක්කෙනෙකුට විතරක් ඇතුල්වෙන්න පුළුවන්කම තිබුණු පුංචි ගේට්ටුවෙන් කාව්‍යා ඉන්දීවරී එළියට ආවෙත්, වෑන් එකේ දොර ඇරුණෙත් එකම මොහොතක. තව දුරටත් ඉවසීමේ සීමාව පරිස්සම් කරගන්න අමාරු වුණු විසල් තමන්ගෙ වාහනය ස්ටාට් කළා. සුදු වෑන් එකෙන් බිමට බැහැපු කලු, හැඩිදැඩි මිනිස්සු දෙන්නෙක් ලොකු ඇස් අයිතිකාරිව නතර කරන බවත්, එයින් එකෙක් ලොකු ඇස් අයිතිකාරිගෙ අතක් තදින් අල්ලගන්න බවත් ඊළඟ මොහොතෙ විසල් දැක්කා.
එතන ඉඳලා හැම දෙයක් ම සිද්ධවෙන්න ගතවුණේ තත්පර කීපයක් වෙන්න ඇති. ඒත් ඒ ක්ෂණික සිදුවීම් පෙළ පැය ගාණක චිත්‍රපටියක් තරම් දිගට දැනුණා විසල්ට වගේම ලොකු ඇස් අයිතිකාරි, කාව්‍යා ඉන්දීවරීටත්.

තමන්ව බලහත්කාරයෙන් වෑන් එකකට දාගන්න උත්සාහ කරන හැඩිදැඩි මැරයො දෙන්නෙකුගෙ ග්‍රහණයට මැදිවෙලා දඟලමින් හිටපු කාව්‍යා ඉන්දීවරීගෙ ඇස්දෙක විසල්ව හොයාගත්තෙත්, ස්ටිකර්වලින් වැහුණු මැතිවරණ ප්‍රචාරක රථය හිතන්න බැරිතරම් වේගයකින් එතනට ආවෙත් එකම මොහොතක.

‘අනේ විසල්..!!!’

ඉදිරි ආසන දෙක අතරෙ තැනක හැංගිලා හිටපු මිලිමීටර් නවයේ පුංචි යක්ෂයා ක්ෂණිකව මතකයට ආවත්, ඉක්මන් නොවුණු විසල් හිස් අතින් බිමට බහින්න තීරණය කළා. බලාපොරොත්තු නොවුණු විදියට එතනට ආව තමන්ගෙ වාහනයෙ හඬින් මැරයො දෙන්නා තරමක් අවුල් වුණු බව තේරුම් ගත්ත විසල්, ඒ වාසියෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා.

නිරංජලාගෙ වගේම ලොකු ඇස් අයිතිකාරිගෙ කෑ ගැහිල්ලත්, අවට හිටපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයො හත් අට දෙනෙක් වේගයෙන් එතනට එක් රොක් වීමත් හේතුවෙන් ප්‍රධාන ගේට්ටුව ළඟ මහා ගාලගෝට්ටියක් නිර්මාණය වුණේ ඉතාම සුළු කාලයක් ඇතුළත.

ලොකු ඇස් අයිතිකාරිගෙ මටසිලිටි අතක් අඹරලා අල්ලගෙන හිටපු මැරයා ළඟට වේගයෙන් කිට්ටු වුණු විසල් ඇඟෙයි, හිතෙයි පිරිලා තිබුණු හැම ශක්තියක්ම එකතු කරලා ඒ ගොරහැඩි මූණ හරහා පාරක් එල්ල කළේ තමන්ට පවා හිතාගන්න බැරි තරම් වේගයකින්. අනපේක්ෂිතව එල්ල වුණු ඒ පාර දරාගන්න සූදානමක් නොතිබුණු ගොරහැඩියාට කාව්‍යා ඉන්දීවරීගෙ අත අතහැරෙද්දි අනිත් මැරයා මොකක්දෝ හොයන්න වෑන් එක ඇතුළට එබෙන බව විසල් යන්තමින් දැක්කා.

තමන්ගෙන් මූණ පිරෙන්න පාරක් කාපු මැරයා ළඟට ආයෙත් කිට්ටු වුණු විසල් ඒ ගොරහැඩි ශරීර පර්වතයට තවත් පාරවල් කීපයක් එක දිගට ගහගෙන ගහගෙන ගියේ ඉහවහා ගිය කේන්තියකින්.  ගාලගෝට්ටිය අතරෙ එතනට පිරුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයො හත් අට දෙනා මැරයො දෙන්නව වට කරගත්තෙත් ඒ මොහොතෙමයි.

‘විසල්… බලාගෙන..!! ’

කවුද ගහන්නෙ, කාටද ගහන්නෙ කියල හිතාගන්න අමාරු තරමේ කලබලයක් නිර්මාණය වෙද්දි, තමන්ගෙ දකුණු අතේ උරහිසට පහළින් මොකක්දෝ තියුණු වේදනාවක් එක පාරටම දැනෙන්න පටන්ගත්ත බව විසල්ට දැනුණා.

තත්ත්වය එන්න එන්නම දරුණු වෙන බව තේරුම් ගත්ත මැරයො දෙන්නා අමාරුවෙන් ඇතුළට රිංග ගනිද්දිම ස්ටාට් වුණු සුදු වෑන් එක තව මොහොතක්වත් පරක්කු නොවී, හිතාගන්නත් බැරි තරම් වේගයකින් එතනින් පිටවුණා. ටිකෙන් ටික තමන්ගෙ දකුණු අත හිරිවැටෙමින් තියෙන බව දැනුණත් ඒක ගණනකට නොගත්ත විසල් උත්සාහ කළේ වෑන් එක පස්සෙන් යන්න. ඒත් ලොකු ඇස් අයිතිකාරි වගේම එතන හිටපු කිසි කෙනෙක් ඒකට ඉඩ දුන්නෙ නෑ.

‘විසල්… මොකද වුණේ… ඔයාට අවුලක් නෑ නේද..? ’

‘අනේ විසල් අයියෙ… අත කැපිලා නේද? ’

‘මචං මොකද වුණේ… අත අමාරුද? ’

‘ඒයි… ඔය රෙදි කෑල්ලක් ගනිං… හොඳටම ලේ යනවා. ’

මැරයො දෙන්නා ගැන හිතන්න කාලය නාස්ති නොකර හැමෝම විසල් ගැන අවධානය යොමු කරද්දියි විසල්ටත් තමන්ගෙ අත දිගේ හීතලට ලේ පාරක් ගලාගෙන යන බව දැනුණෙ. දකුණු අතේ උරහිසට ටිකක් පහළින් ෂර්ට් එකත් එක්කම අඟල් හයක් විතර දිගට කැපිලා තිබුණු බව විසල් දැක්කෙ එතකොට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top