Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 59වන කොටස

Sihina Siththarawi

කාව්‍යා ඉන්දීවරීගෙ කටින් ඒ අන්තිම වචන කීපය පිටවෙද්දි විසල් ගැස්සිලා ගියා. ඒ විදියේ සැකයක් හරහා තමන්ගේ මිත්‍රත්වයේ ඉරණම පවා තීන්දු වෙන්න හොඳටම ඉඩ තියෙන බව විසල්ට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන වුණේ නැහැ. ගෙවුණු තත්පර දෙක තුන ඇතුළත විසල්ගෙ හිතේ අකුණු කීයක් පිපිරෙන්න ඇතිද කියලා  හාංකවිසියක් වත් නොදැන ලොකු ඇස් අයිතිකාරි දිගටම තමන්ගෙ කතාව කියාගෙන ගියා.

‘සමහරවිට මේක මගේ ඔලුවෙන් හදාගත්ත දෙයක් වෙන්නත් ඇති. ඒත් විසල්, සුරේෂ් කියන කතා ඇතුලෙ මට හිතෙන්නෙම මොකක් හරි උගුලක් මෙතන තියෙනව කියලා… අපි නොදන්න දෙයක්…’

‘ඒ කිව්වෙ මිස්..? ’

‘සුරේෂ්ගෙ සමහර කතා ඇතුළෙ මොකක්දෝ අනතුරු ඇඟවීමක් තියෙන බව මට දැනෙනවා විසල්… මං දන්නෑ හරියටම හේතුව… ඒත් මට එහෙම දැනෙනවා. සුරේෂ් මොකක්දෝ කතාවක් නොකියා කියන්න හදනව වගේ දෙයක්…’

‘මිස් හිතන්නෙ සුරේෂ් මොකක් හරි කුමන්ත්‍රණයකට සම්බන්ධයි කියලද? ’

විසල් කෙළින්ම උත්තර දෙන්න පුළුවන් විදියට ප්‍රශ්නය හැඩ කරලා කාව්‍යා ඉස්සරහින් තිබ්බා.

‘මට තේරෙන්නෙ නෑ විසල් ඒක හරියටම. ඒත් මට එහෙම දැනෙනවා. මං දවසකුත් කිව්වෙ, ලොයිඩ් අංකල්ගෙයි සුරේෂ්ගෙයි හැසිරීම ටිකක් වෙනස් කියලා. මට හිතෙන්නෙම මේක පිටිපස්සෙ එහෙම දෙයක් තියෙනව කියලයි. ඒ වගේම එහෙම දෙයක් තියෙනව නම් ඒකට තවත් අය සම්බන්ධයි. ඒක මට හොඳටම ෂුවර්… ’

‘මිස් එහෙම කියන්නෙ ඇයි? ’

‘මොකද සුරේෂ් හැම තිස්සෙම පෙන්නන්න හදනවා, අපි ගැන හැම දෙයක්ම එයා දන්නවයි කියන එක. ඒක එහෙම වෙන්න නං එයා ඔෆිස් එකට නාවත් එයාට හැම තොරතුරක්ම යන්න ඕන නෙ… කොහොම වුණත් මේ ප්‍රශ්නෙ ඉක්මණටම විසඳගන්න වෙනවා විසල්. ඉලෙක්ෂන් එකේ වැඩ නොතිබුණානං මම මෙලහකටත් තාත්තිට කියලා මේ ගැන… ’

‘ඒක නෙමෙයි කාව්‍යා මිස්… කැම්පස් එකේ අයත් එක්ක සුරේෂ් මොනවද කියල තියෙනව කිව්වෙ?’

‘ඒ අනිත් ප්‍රශ්නෙ… මං ඔයාට දවසක් කිව්වෙ, මෙහේ පොලිටික්ස් වලට සම්බන්ධ කොල්ලො කීප දෙනෙක් එක්ක සුරේෂ්ට කන්ටැක්ට්ස් තියෙනව කියල. උං එක්ක කියල තියෙනවා මොනව හරි ඕන්නැති කතා වගයක්. එකෙක්වත් කෙළිං නොකිව්වට වටින් ගොඩින් කියන සමහර කතා ඇතුළෙ මට ඒක තේරුණා… සුරේෂ් කැම්පස් එකට එන්නෙ මාව බලන්න කියලයි උං හිතාගෙන ඉන්නෙ… ලැජ්ජාවෙ බෑ විසල්… මං මේ හරියටම කතාව දැනගන්නකල් ඉන්නෙ, දෙකක් කතා කරන්න. මේ විකාරෙ දැං ඕනවට වැඩියි.’

ඒ සංවාදය ඇතුළෙ විසල්ට හිතන්න තවත් ගොඩාක් දේවල් ඉතුරු වුණා; සුරේෂ්ගෙ හැසිරීම ගැන වගේම, තමන් ඉස්සරහ පුටුවක් උඩට වෙලා චොක්ලට් බීම එකකුත් බි බී හැම දේම නිදහසේ කියවගෙන යන ලොකු ඇස් අයිතිකාරි ගැනත්.

කතාබහ කෙළවර වෙද්දි විසල් ආයෙත් එන්න පිටත් වුණේ හිත පුරා පැතිරුණු මහා බරක් වගේම තවත් මොකක්දෝ සැහැල්ලුවකුත් එක්කයි. ඒ වගේම සැහැල්ලුවක් කාව්‍යා ඉන්දීවරීගෙ හිතටත් දැනෙමින් තිබුණු බව විසල් දැනගෙන හිටියෙ නෑ.

‘කාව්‍යා මිස් ගෙදර යන්නෙ කොහොමද? වෑන් එක තියෙනවා, මිස්ගෙ වැඩ ඉවරනම් ගිහිං දාන්නම්…’                                                                                                                 

‘තාම නෑ විසල්… තව වැඩ ටිකක් තියෙනවා. අනික නිරා එනකල් මම කොහොමත් ඉන්න ඕන. ඔෆිස් එකේ වැඩ ටික බලන්නත් කවුරුත් නැති නිසා විසල් යන්න. ජයසේනට එන්න බැරි වුණොත් මම කැබ් එකක් කතා කරං යන්නම්… ’

‘එහෙමනං මම යනවා. මිස් පරිස්සමෙන් යන්නකො වැඩ ටික ඉවර කරගෙන. ඕන වුණොත් කෝල් එකක් දෙන්න, මම ඔෆිස් එකේ ඉන්නෙ. අද වෙන කොහෙවත් යැවෙන්නෙ නෑ…’

විසල් වැඩිදුර නොහිතා කිව්වත් ‘පරිස්සමෙන් යන්න’ කියන වචන දෙක ඇතුළේ ලොකු ඇස් අයිතිකාරිට හිතන්න ගොඩාක් දේවල් ඉතුරු වුණා. මොකක්දෝ නොදන්නා හිතවත්කමක්, ආරක්ෂාවක් විසල්ගෙ ආශ්‍රය ඇතුලෙ තමන්ට හැම මොහොතකම දැනෙන බව දැනගෙන හිටියට ඒ හැඟීම හරියටම තේරුම් ගන්න කාව්‍යා ඉන්දීවරීට පුළුවන්කමක් තිබුණෙ නෑ.

හැම දෙයක්ම ආයෙ ආයෙත් කල්පනා කරන අතරේ වෑන් එකට ගොඩවුණු විසල්ගේ ඇස්වලට,  ඊට මීටර් පන්සීයක් විතර ඈතින් නතර කරලා තිබුණු කලුපාට මෝටර් බයිසිකලය මගහැරෙන්න ඕන තරම් හේතු තිබුණා. ඒත් ෆුල්ෆේස් හෙල්මට් එකක් අතරින් විසල්ගෙ වෑන් එක දිහාටම එල්ලවෙලා තිබුණු ඒ තීක්ෂණ ඇස්වලට නම් තමන්ගේ ඉලක්කය මග හැරෙන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ. වෑන් එක ඉදිරියට ඇදෙනවත් එක්කම මෝටර් බයිසිකලයත් ටිකෙන් ටික ඉදිරියට ඇදෙන්න පටන් ගත්තා, සමාන වේගයක් සහ නොවෙනස් පරතරයක් ඇතිව.

රීඩ් මාවතෙන් පිටත් වුණු වෑන් එක මැතිවරණ කාර්යාලය ඉස්සරහ නතර වෙනතුරුත් ඒ පරතරය ඒ විදියටම ආරක්ෂා කරගන්න බයිසිකල්කාරයා වගබලා ගත්තා.

පෝස්ටර් තොගය ඇතුලට අරගෙන යෑම වැඩ කරමින් හිටපු කීප දෙනෙකුට පවරපු විසල් කාර්යාලයට ඇතුල් වුණේ හිත හිරිවැටෙන තරමේ කාන්සියකුත් එක්ක. කරන්න තරම් බරපතල වැඩක් නැතිවීමෙන් දැනුණු ඒ පාලුව ලොකු ඇස් අයිතිකාරි කාර්යාලය ඇතුළෙ නැති වීමෙන් දෙගුණ තෙගුණ වුණු බවයි විසල්ට දැනුණෙ.

‘විසල්… මම කීර්ති. මාකටිං ඩිවිෂන් එකෙන්… මිස් ඇල්කඩුව අපට කිව්වා අලුත් රේඩියෝ කමර්ෂල් එකක් හෙට ඉඳලා ප්‍රෝග්‍රෑම් වෙනවා කියලා. මට ඒකෙ ඕඩියෝ එක අදම ගන්න තිබුණනම් හොඳයි. විසල්ට පුලුවන්ද ඒක හෙඩ් ඔෆිස් එකට එවන්න? ’

‘සී.ඩී. එක..! ’

දැන්වීම අනුමත කළත් කාව්‍යා ඉන්දීවරී සී.ඩී. එක ලැප්ටොප් එකෙන් එළියට නොගත්ත බව විසල්ට මතක් වුණේ ඒ මොහොතෙ. තමන්ගේ සිහි කල්පනාව ගැන ඇතිවුණු අප්‍රසාදය වගේම, ක්ෂණිකව ඒ අප්‍රසාදය වහගෙන හිත පුරා පැතිරුණු ප්‍රීතියත් එළියට නොපෙන්නුව විසල් වෙනසකින් තොරව උත්තර දුන්නා.

‘ආ… හරි හරි කීර්ති, ඒක කාව්‍යා මිස් ළඟ තියෙන්නෙ. මම දැං ගිහිල්ලා ගෙනත් දෙන්නම් හෙඩ් ඔෆිස් එකට… ’

— මතු සම්බන්ධයි —

 සෞම්‍ය සඳරුවන් ලියනගේ

 
සිහින සිත්තරාවි 58වන කොටස >> http://www.gossipking.lk/2016/12/30/33259/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top