Gossip

රාත්‍රි 9 සිට උදෑසන 5 තෙක්‌ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ගාස්‌තු රු. 50 කින් බසී

සියලුම අධිවේගී මාර්ගවල රාත්‍රි 9.00 සිට උදෑසන 5.00 දක්‌වා ගමන් කරන සියලුම වාහනවලින් මෙතෙක්‌ අය කළ මුදලින් රුපියල් 50 ක්‌ ජනවාරි පළමුවැනිදා සිට (ඊයේ සිට) අඩු කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (31 දා) මාතර හම්බන්තොට දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්‍ෂණය පැමිණි අවස්‌ථාවේ මාධ්‍ය වෙත අදහස්‌ පළ කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නිහාල් සූරියආරච්චි මහතා මෙසේද පැවැසීය.

2017 අයවැය යෝජනාවෙන් දුන් පොරොන්දුවකට අනුව ජනවාරි පළමුවැනිදා සිට රාත්‍රි 9.00 ත් උදෑසන 5.00 ත් අතර කාල සීමාව තුළදී අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු රථ වාහන සඳහා තමයි මේ රුපියල් 50 ක මුදල අඩු කිරීමට කටයුතු කර තිබෙන්නේ. මේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ වැඩි වශයෙන් අධිවේගී මාර්ග භාවිතයට ගැනීමට ජනතාව යොමුකිරීම සහ පවතින වාහන තදබදය අඩුකර ගැනීමටයි. ඒ වගේම අධිවේගී මාර්ග භාවිතය තුළින් ජනතාවට ලැබෙන ප්‍රධාන වාසි කිහිපය අතරේ ඒ අයට තමන්ගේ කාලය ඉතුරු කර ගන්න වගේම ඉන්ධන පිරිමැසීමක්‌ සිදුකර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ රුපියල් 50 ක මුදලක්‌ අඩු කිරීම තුළ කිසිසේත්ම මාර්ග සංවර්ධන අධිකාරියට පාඩුවක්‌ සිදුවේවි කියලා අපි හිතන්නේ නෑ. මෙය රටට වගේම ජනතාවට ලැබෙන ඉතා හොඳ වරප්‍රසාදයක්‌. අපි බලාපොරොත්තු වෙනවා රටේ මහජනතාව මේ තුළින් උපරිම ප්‍රයෝජන ගනීවි කියලා.

මේ වනවිටත් මාතර හම්බන්තොට අධිවේගී මාර්ග දිගුවේ වැඩකටයුතු ඉතා සාර්ථක ලෙස සිදුවෙමින් තිබෙනවා. මා අද එහි වැඩබිම් කීපයක්‌ම නිරීක්‍ෂණය කළා. 2019 වසරේ අග භාගය වනවිට මෙම මාර්ගයත් ජනතා අයිතියට පත්කරන්න පුළුවන්කම තිබේවි කියලා අපි විශ්වාස කරනවා.

මත්තල – දිලිප් එන්. ජයසේකර, සූරියවැව – රොෂාන් ගුණසේකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.