Political

ජනවාරි 8 තීරණාත්මකයි

january 8

අලුත් අවුරුද්දේ ජනවාරි 8 වැනිදායින් පසු ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සැරසෙන බව වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකුට (10) ආසන්න පිරිසක් මෙලෙස ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙදෙනකු, ගාල්ල දිස්ත්‍රික්කයේ දෙදෙනකු, පුත්තලම, කුරුණෑගල, මොණරාගල, රත්නපුර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුගේ මෙහෙයවීම මත සිදුවන දේශපාලන ක්‍රියාවලියක් හරහා මේ තත්ත්වය නිර්මාණය වී ඇති බවත් මේ වන විටත් අදාළ පිරිස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණය කල්දැමී, එටිකා ගිවිසුම, හම්බන්තොට වරාය සහ ඒ අවට ඉඩම් අක්කර 15,000ක් 99 අවුරුද්දකට බදුදීම, ආර්ථිකය බිදවැටීම, රුපියල අව ප්‍රමාණය වීම, ණය බර වැඩි වීම, බඩු මිල වැඩි වීම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දරදඩු පාලනයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර 2017 වසරේදි රජය පෙරළා බලයට පත්වීම තමාගේ ඉලක්කය බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විදෙස් ජනමාධ්‍යවේදීන් සමග පසුගියදා සිය නිල නිවෙසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.

රාජ්‍ය මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද පසුගියදා අවධාරණය කර සිටියේ 2017 වසර දේශපාලන සහ ආර්ථික වශයෙන් රැඩිකල් තීරණ රැසක් ගනු ලබන වසරක් වන බවය.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.