Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 58වන කොටස

sihina

මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් වලින් වැහුණු වෑන් එක විශ්ව විද්‍යාලය ඉස්සරහ පාරේ දැවැන්ත මාර ගහක් යට නතර කරපු විසල් එකපාරටම වෑන් එකෙන් බහින්නෙ නැතිව තවත් ටික වෙලාවක් අවට පරිසරය ගැන අවධානයෙන් හිටියා. හුරු පුරුදු විදියට රීඩ් මාවත දිගේ වේගයෙන් ඇදුණු වාහනවලට අමතරව වෙන කිසිම අමුත්තක් නිරීක්ෂණය කරන්න මිනිත්තු කීපයක් ගතවුණත් විසල්ට පුළුවන් වුණේ නෑ. තවත් ටික වෙලාවක් ඒ විදියටම වෑන් එක ඇතුලට වෙලා හොරගල් අහුලපු විසල් ජංගමයා අතට අරගෙන කාව්‍යා ඉන්දීවරීගෙ නොම්මරය හෙව්වා.

‘ඔව් විසල්… කියන්න..?’

‘මිස් කැම්පස් එකේ නේද? ’

‘ඔව් විසල්… දැං ලෙක්චර් එකක් ඉවර වුණා විතරයි. මම මේ කෝල් එකක් ගන්න හැදුවේ… ඔෆිස් එකේ වැඩ ටික මොකද කරගත්තෙ? පෝස්ටර්ස් ටික ගෙනාවද? ’

‘පෝස්ටර් ටිකනං ගත්තා මිස්… ඒත් ඔෆිස් එකට යන්න හදද්දි අර රේඩියෝ ඇඩ් එකේ වැඩ ඉවරයි කියලා කෝල් එකක් ආවා. ඉතිං මම ඒකෙ සී.ඩී. එකත් අරගත්තා ඒජන්සි එකට ගිහිං. මිස් අද ඔෆිස් එන එක ෂුවර් නැහැයි කියලා උදේ කිව්වනෙ. ඒ හින්දා මම කල්පනා කලේ, මිස්ට වෙලාවක් තියෙනවනං ඒක පොඩ්ඩක් අහන්න දීලම අරං යන්න. මිස් ඕකේ කළොත් හෙට උදේම චැනල්වලට යවන්න පුලුවන්නෙ…’

‘හොඳ වෙලාවට ඒක අදම ගත්තෙ විසල්… හෙට ඉඳල දාන්න පුලුවන් වෙයි… මම මාකටිං එකට කියල ලෑස්ති කරන්නම්. ඔයා කොහෙද දැං ඉන්නෙ? කැම්පස් එක පැත්තට එනවද?’

පැය ගාණක් ඇඩ්වර්ටයිසිං ඒජන්සියේ ස්ටූඩියෝ එක ඉස්සරහ රස්තියාදු වෙලා කොහොම හරි ඉවර කරගත්ත වෙළඳ දැන්වීමේ පිහිටෙන් විසල්ට ලොකු ඇස් අයිතිකාරිව මුණගැහුණා. විසල්වත් දැනගෙන හිටියෙ නැහැ ඇයි හදිස්සියේම තමන්ට කාව්‍යා ඉන්දීවරීව මුණගැහෙන්න ඕන වුණේ කියලා. ඒත් හිතේ කෙළවරක හැංගිලා තිබුණු මොකක්දෝ නොදන්නා හේතුවක් විසල්ට බලකළා කොහොම හරි ඒ දේ, ඒ වෙලාවෙම කරන්න.

විශ්වවිද්‍යාල කැන්ටිමේ දිග මේසයක් ඉස්සරහ තිබුණු පුටුවකට බරවෙලා දැන්වීම කීප සැරයක් අහගෙන හිටපු කාව්‍යා ඉන්දීවරී, ලැප්ටොප් එකේ තිරය මත රැඳිල තිබුණු තමන්ගෙ ඇස් මේසය ඉස්සරහ අනිත් කෙළවරේ ඉඳගෙන හිටපු විසල් දිහාවට යොමු කළා.

‘අවුලක් නෑ නේ..? විසල්ට මොකද හිතෙන්නෙ… ’

‘ප්‍රශ්නයක් නෑ වගේ නේද මිස්? හෙට ඉඳලම පරණ එක වෙනුවට මේ ඇඩ් එක ගියානං හොඳයි… ’

මිනිත්තු කීපයක් ඇතුළත, දුරකථන ඇමතුම් කීපයක් හරහා අදාල වැඩ කටයුතු සැලසුම් කරන අතරෙ ලොකු ඇස් අයිතිකාරිගෙ ඉල්ලීමට අනුව කැන්ටිමේ කවුන්ටරය ළඟට ගිය විසල් චොක්ලට් බීම බෝතල් දෙකක් අරගෙන ඇවිත් මේසය උඩින් තිබ්බා.

‘ඔන්න සේරම හරි විසල්… හෙට දවල් දොළහේ ඉඳලා ඇඩ් එක ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ. මාකටිං එකට හෙට උදේම මේ ඕඩියෝ එක යැව්වනම් හරි… ’

‘මිස් දැං ඔෆිස් එක පැත්තෙ යන්නෙ නෑ නේද? ’

‘නෑ විසල්… කාර් එක සර්විස් කරන්න අරගෙන ගියා ජයසේන. තාම වැඩේ ඉවර නැහැලු. අනිත් ඩ්‍රයිවර් තාත්ති එක්ක ගිහිල්ලා… ඉතිං මං බැලුවෙ ටැක්සි එකක් අරං ගෙදර යන්න…’

ලොකු ඇස් අයිතිකාරිගෙන් දවස් ගාණක් තිස්සෙ අහන්න බලාගෙන හිටපු දේ අහන්න හොඳම වෙලාව ඒ ගෙවෙමින් තිබුණු මොහොත බව තීරණය කරපු විසල් හෙමිහිට තමුන්ගෙ කටහඬ අවදි කළා.

‘මිස්… මම දෙයක් අහන්නද? ’

‘මොකක්ද විසල්..? ’

‘මෙහෙම අහන්න මට අයිතියක් නෑ තමයි… ඒත් මට දවස් ගාණක ඉඳල දැනුණු දෙයක් නිසයි මං මේක අහන්නෙ…’

දෙගිඩියාව පිරිච්ච කටහඬකින් විසල් අහන්න සූදානම් වෙන්නෙ මොන වගේ දෙයක් ද කියල හිතාගන්න බැරිවුණු කාව්‍යා ඉන්දීවරී තමන්ගෙ ලොකු ඇස්වල කුතුහලය පුරවගෙන විසල් දිහා බැලුවා.

‘ඒකට කමක් නෑ විසල්, අහන්න… මොකක්ද ප්‍රශ්නෙ… ’

‘මිස්… සුරේෂ්, මිස් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගෙනද ඉන්නෙ? ’

තමන් ඒ ප්‍රශ්නය අහද්දි කාව්‍යා ඉන්දීවරී එක මොහොතකට ගල් ගැහුණු බව ඒ ඇස් දිහා බලාගෙන හිටපු විසල්ට හොඳින්ම තේරුණා. දවස් ගාණක් තිස්සෙ කිසි කෙනෙකුට නොකියා හිතින් විඳවපු කාරණයක් තේරුම් ගන්න තරම් සංවේදී ඉවක් විසල්ට ලැබුණේ කොහොමද කියලා එකපාරටම හිතාගන්න අමාරු වුණු ලොකු ඇස් අයිතිකාරි තවත් මොහොතක් තමන්ගේ පුදුමය පිරුණු ඇස්වලින් විසල් දිහා බලාගෙන හිටියා.

‘ඇයි විසල් එකපාරටම එහෙම අහන්න හිතුවෙ..? ’

‘හරියටම දන්නෙ නෑ මිස්… ඒත් මට හිතුණා මිස් ඉන්නෙ මොකක් හරි අවුලක කියලා… ’

‘මම කිසිම ප්‍රශ්නයක් ඕනවට වඩා ඔලුවට ගන්න ජාතියේ කෙල්ලෙක් නෙමෙයි විසල්. ඒත් සමහර තැන්වලදි කරන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනකොට ඕනම කෙනෙක් පොඩ්ඩක් අවුල් වෙනවනෙ… ’

තමන්ව දවස් ගාණක් තිස්සෙ අවුල් කරපු ඒ ප්‍රශ්නය විසල් එක්ක කියලා නිදහස් වෙන්න කාව්‍යා ඉන්දීවරී ඒ මොහොතෙ තීරණය කළා.

‘ඔයාට හිතුණු දේ හරි විසල්… සුරේෂ් ගැන මං දවසකුත් ඔයාට දෙයක් කිව්වෙ… ඒක එන්න එන්නම වැඩි වෙනවා. දැං හරියට මාව බයකරන්න වගේ කතා කරන්නෙ. ඒ අස්සෙ කැම්පස් එකේ කොල්ලො එක්කත් ඕන්නැති කතා වගයක් කියලා. මට මේ වෙලාවෙ තාත්ති එක්ක මේවා කියන්නත් බෑ. කිව්වොත් මං හොඳටම දන්නවා සුරේෂ්ට වෙන දේ. තාත්තිගෙ ඔලුව අවුල් කරන්න බෑ නෙ විසල් මේ වගේ වෙලාවක… ඔන්න ඕකයි ප්‍රශ්නෙ. සුරේෂ් තමන්ගෙ සීමාව පනින්න හැදුව මුල් දවස්වලම මට ඒක තේරුණා. ඒත් දැං මිනිහා කියන සමහර දේවල් එක්ක, මට හිතෙනවා විසල් මෙතන තව මොකක් හරි අපි නොදන්න කුමන්ත්‍රණයක් තියෙනවද කියලත්…’

                                                                           — මතු සම්බන්ධයි —
                                                                         සෞම්‍ය සඳරුවන් ලියනගේ

සිහින සිත්තරාවි 57වන කොටස >> http://www.gossipking.lk/2016/12/27/33040/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top