Paper Gossip

එකම පවුලේ 10ක් එක තැන හැප්පිලා මියගිය චාවකච්චේරිය අනතුරින් නෑසුන කඳුළු කතාව

chavakachcheri accident

ඉහිළුම් නොදෙන ශෝකය වාවගත නොහී තැන ඔහු ඉකිබිදින්නට විය. ඉකිය අතරින් පිටවන වචනවල පවා ඇත්තේ තම වැඩිමහල් පුතු සහෝදර සහෝදරියන් හත් දෙනෙකු ඇතුළු එකම පවුලේ දස දෙනෙකු අකලට අහිමිවී යැමේ උහුලාගත නොහැකි වූ වේදනාවය. හොරණ මිල්ලනිය මාදම්පේ ඉඹුල්ගස්‌පිටිය වත්තේ එක මිදුලක්‌ වටකොට වෙන් වෙන්ව ඉදිකොට ඇති නිවෙස්‌ තුනක්‌ බතක්‌ හොද්දක්‌ නොඉදෙන ලිප් ගල් තුනක්‌ මෙන් තම නිවැසියන් නැවත නිවෙස්‌ වෙත පැමිණෙන තුරු ඉතාමත් අසරණ ලීලාවෙන් බලා සිටිනවා වැනිය. එම නිවෙස්‌වල පිරි ඉතිරී ඇති පාළු මුසල නිහැඬියාව පලවා හැරීමට සමත් කිසිවෙක්‌ නැති සේය.

ජීවිතය සතු අතිර බව සඳහන් බැනර් කටවුට්‌ සියගණනක්‌ පෙනෙන තෙක්‌ මානයේ වෙතත් සමඟි සම්පන්නව ජීවත් වූ සහෝදර සහෝදරියන් දස දෙනෙකු අතරින් හත් දෙනෙක්‌ තම වැඩිමහල් පුත් ඇතුළු එකම පවුලේ දස දෙනෙකු එකවර එකම තැන මිය යැමත් ඉන් හත් දෙනෙකු තම නිවසට මදක්‌ ඔබ්බෙන් කනින ලද සමූහ මිනීවලක්‌ තුළ එකට මිහිදන්ව යැමත් ජීවතුන් අතර සිටින ඩබ්. ඒ. විඡේරත්නට කොහෙත්ම දරාගත නොහැකිය.

“අපි උපදින්නේ ඉතාමත් දුප්පත් දෙමාපියො දෙන්නෙකුගේ දරුවො විදිහට. අපේ පවුලට මාත් ඇතුළුව සහෝදර සහෝදරියො දහයක්‌ හිටියා අම්මයි තාත්තයි ඒ අයගෙ බඩටවත් නොකා අපිට දීපු ධනය තමයි අධ්‍යාපනය. ඒ දවස්‌වල දවසක්‌ නෑර අපිව ඉස්‌කොලෙ යෑව්වා.

ඉගෙන ගැනීමේ තිබෙන වටිනාකම කියල දුන්නා. අපි උස්‌මහත්වෙලා කාලයක්‌ ගියාට පස්‌සෙ රජයේ උසස්‌ රැකියා ආදිය ලබල අම්මගෙයි තාත්තගෙයි හීන හැබෑ කලා. මගේ ගේ තියෙන්නෙ මේ ඉඩමේ කෙළවරට වෙන්න. එක ළඟ මේ ගෙවල් තුන හැදුවේ අපේ පුංචි කාලෙ මතක්‌ වෙන්න. මේ ගෙවල් තුන හදන්නෙ ඒ කාලේ තිබුන අපේ පුංචිගේ මැදිකරල. මේ ඉස්‌සරහ මිදුලෙ හරි මැද්දට වෙන්න තමයි ඒ කාලෙ අම්මයි තාත්තයි අපි දහදෙනයි එක්‌ක දොලොස්‌ දෙනෙක්‌ ජීවත් වෙච්ච අපේ දුප්පත් ගේ තිබුනේ”…….. නිවෙස්‌ තුන මැදිවෙන්නට තිබූ මිදුලක්‌ වෙත අතක්‌ දිගු කරමින් විඡේරත්න මහතා පළමුව එසේ සඳහන් කර සිටියේය.

යාපනය චාවකච්ෙච්රිය ප්‍රදේශයේදී සිදු වු මාරක රිය අනතුරින් මිය ගිය තම පවුලේ සාමාජිකයන් දස දෙනා පිළිබඳ පැවසීමට විඡේරත්න මහතා සතුව බොහෝ දේ ඇතත් ඔහුට ඒ කිසිවක්‌ එකවර පැවසීමට ඉඩ නොදෙන්නේ වරින් වර ඔහුව පෙළනු ලබන ශෝකය විසින්ය. අපහසුව දරාගනිමින් ආයාසයෙන් යුතුව ඔහු විසින් යම් යම් දේ පවසන්නට වූ අතර කඳුළු ගෑවුන එම වචන අතර පවා තිබුණේ පවුලක්‌ ලෙස ඔවුන් අතර ගොඩනැඟê තිබූ උදාර සහෝදරත්වයක්‌ පිළිබඳ අතීත මතකයන්ය. ඔහුව පාරවනු ලබන්නේ එය අහිමි වී යැම තුළ උපන් හදදවන සුළු වේදනාවන්ය.

එදා……. 16 වැනිදා මමයි මගේ නෝනයි මේ දරු පැටව් දෙන්නයි හැර අපේ පවුලේ අනෙක්‌ අය යාපනයෙ යන්න පිටත් වුණ්‌ රෑ 10 ට විතර. අපේ පවුලෙ කාලෙක සිට තියෙන පුරුද්දක්‌ තමයි විවේකයක්‌ ලැබුණ ගමන් කොහේ හරි වන්දනාවක එහෙම නැත්නම් විනෝද චාරිකාවක යෙදෙන එක.

එදා අපි හතර දෙනා ඒ ගමන නොගියෙ මගේ දුවට අමතර පන්ති ඔය කියන දවස්‌වලම යෙදිල තිබුණ හින්ද. පන්ති මඟ හැරල මගේ දුව හරි පුතාල දෙන්න හරි කොහේවත් යනවා දකින්න මගේ සහෝදර සහෝදරියොත් කැමැත්තක්‌ නැහැ. ඒ අයගෙ ලෝකය වෙලා තිබුණෙත් මේ දරුවො තමයි. මගේ ලොකු අක්‌කා පදිංචිවෙලා ඉන්නෙ මේ ගමෙන් පිට. ඒ අයත් යාපනයේ ගමනට යන්න සූදානමින් හිsටියෙ. එහෙම ආවනම් එතනත් පස්‌ දෙනෙක්‌ ඉන්නවා. අක්‌කගෙ දරුවෙක්‌ අසනීපෙන් රෝහල් ගත කරල හින්ද ඒ අය මේ ගමනට එන්නෙ නෑ. මගේ ලොකු පුතා හැදුනෙ වැඩුණේ මගේ සහෝදර සහෝදරියන් අතරේ. ඒ අයගෙන් කීප දෙනෙක්‌ම අවිවාහක හින්ද ලොකු පුතාට අම්ම තාත්තා වුණේ මමයි මගේ නෝනයි විතරක්‌ නෙවෙයි ඒ අයත් පුතාට අම්මල තාත්තල වගේ වුණා. එහෙම ගිය මගේ සහෝදර සහෝදරියන් ටිකයි මගේ ලොකු පුතයි හැමෝම එකවලක එකට සැතපිල ඉන්නවා. අපි හතර දෙනා විතරක්‌ මේ ගෙවල් අතරෙ තනිවෙලා බලාගන්ත අත බලාගෙන ඉන්නවා…………….”

ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සේවයේ නියුතු ඩබ්ලිව්. ඒ. විඡේරත්න මහතා චාවකච්ෙච්රිය අනතුරින් මිය ගිය තම සහෝදර සහෝරියන් හත් දෙනා ඇතුළු එකම පවුලේ දස දෙනා අතුරින් මේ වන විට ජීවත් වන එකම සහෝදරයාය. විඡේරත්න මහතාගේ දෑසට උනන කඳුළු එවලෙහි නිවසට පැමිණි සිටි ආගන්තුක පිරිමි ඇස්‌වල පවා කඳුළු උල්පත් මැවීමට සමත් වී ඇත. ඉහලට ගත් හුස්‌ම සුසුමක්‌ කර පිට කරමින් බිදුන හඬින් ඔහු නැවතත් කථාව ආරම්භ කළේය.

” ඒ කාලෙ…… අපේ ගෙදරට ගමේ අය කිව්වෙ ” බේබී ස්‌කූල්” කියල කොහොම හරි අපි හොඳින් අධ්‍යාපනය හදාරල ඒ දැනුම ගමටත් බෙදා දුන්නා. මගේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්‌ අපේ මහ ගේ තිබුණ මේ ස්‌ථානයේම එහා පැත්තෙ පොල් අතු මඩුවක්‌ ගහල ඒක ඇතුලේ මේ ගමේ ගොඩක්‌ අයට ඒ අය ඉගෙන ගත්ත දේ ලෝහ නැතුව බෙදල දුන්න. මෘතදේහ ටික ගෙදරට ගෙනාව වෙලේ ඉදල අපේ ගෙදරට ආපු සෙනඟින් ඒ බව කවුරුත් දැක්‌ක. මගේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්‌ම විවාහ වෙලා හිටියෙ නැහැ. හැබැයි ඒ අයට ඒකෙන් පාළුවක්‌ පාඩුවක්‌ දැනුනෙත් නැහැ. මොකද පවුලක්‌ විදිහට අපි අතර තිබුණේ පුදුමාකාර බැඳීමක්‌ ඒක හරි ඝනකම සහෝදර සෙනෙහසක්‌.

“මගෙ මල්ලි අමල් ගුණරත්න කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සකවරයෙකු ලෙස කටයුතු කරද්දි මගේ අක්‌ක ජාතික රෝහලේම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක්‌ (මේට්‌ට්‍රන්) කෙනෙක්‌ විදිහට රාජකාරී කළා. ඒ අය රස්‌සාව කළේ දේවකාරියක්‌ සේ සලකළා ඒ දෙන්න අතින් රෝගීන් දස දහස්‌ ගණනක්‌ සුවපත් කරල ඇති. අනිත් අක්‌කා කාර්මික සංවර්ධන මණ්‌ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාවක්‌. අනෙක්‌ සහෝදරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියෙක්‌. තව සහෝදරියක්‌ ආයුරේවේද දෙපාර්තමේන්තුවේ සේවය කරපු කෙනෙක්‌. මගේ පුතා පරිගණක ඉංජිනේරුවෙක්‌. ඔය විදිහට රටක්‌ වටින පවුලක්‌ තමයි අකාලෙම පස්‌යට වැලලිල ගියේ”.

“අනතුරට පත් වෑන් රථය අපට අයත් එකක්‌. එදා වාහනය පදවගෙන ගියේ මගේ මස්‌සිනා. ඒ කියන්නෙ ජාතික රෝහලේ වැඩ කල දයා අක්‌කගේ මහත්තයා. වාහන ධාවනය කරනව කියන එක උපුල්ට මහලොකු දෙයක්‌ නෙවෙයි. ඒ අයගෙ ගෙවල් ඉස්‌සර ඉදන්ම වාහන තිබුණා වෙනදත් අපි කට්‌ටියත් එක්‌ක වෑන් එකේ ගමනක්‌ යනව නම් ඒක පදවගෙන යන්නේ මස්‌සිනා. එහෙම නැත්නම් මගේ පුතා. ගෙදරින් පිටත් වුන මේ අය මුලින්ම යන්නෙ කොළඹට. දයා අක්‌කයි මාතලේ මල්ලියි වාහනයට ගොඩවෙලා තියෙනවා. ඊට පස්‌සෙ හලාවත ඉන්න මගේ නංගිවත් දාගෙන තමයි අනුරාධපුරයට ගිහින් තියෙන්නෙ.

ඒ ගිහින් ජය ශ්‍රී මහ බෝධියත් වැදගෙන මේ අය පිටත්වෙලා තියෙන්නෙ යාපනයෙත් ගිහින් නාගදීපයත් වැඳගෙන ආපසු එන අදහසින් ඒත් මිනිස්‌සුන්ට මෙච්චර සේවයක්‌ කරලත් දෙවියොවත් මගෙ දරුව සහ සහෝදර පිරිස දිහා බැලුවෙ නැති එකයි පුදුමේ. උනේ මොකක්‌ද එහෙම උණේ කොහොමදවත් කියල කාගෙන් අහන්නද අනතුරින් දිවි බේරාගත්තෙ මගේ අයියගේ පුතා විතරයි. එයාට දැන් තරමක්‌ සුවයි. ඒ දරුව තවම දන්නෙ නෑ මේ අනතුරින් එයා හැර අනෙක්‌ සියල්ලන්ම මරණයට පත්වුන බවක්‌. සනීපවෙලා ගෙදරට ආව දවසක තමයි එයා දැනගන්නේ තමන්ගේ අම්ම තාත්ත ඇතුළු එදා වාහනයේ නැගල යාපනයෙ යන්න ගිය සේරම දෙනා එයාව විතරක්‌ ඉතිරි කරල මෙහෙම ගමනක්‌ ගිහින් කියලා. අක්‌කයි අයියයි ඒ දරුවයි පදිංචි වෙලා හිටියේ මේ ගෙදරට ටිකක්‌ එහායින් ලෙනවර රාජමහා විහාරය අසල ඒ අයට අයත් නිවසක. එහෙම ටිකක්‌ ඈතින් ඒ අය හිටිය කියල සහෝදරකම කියන එක ඩිංගක්‌වත් දුරස්‌ වුණේ නෑ. කොහේ ගියත් ඒ තුන් දෙනත් අපිත් එක්‌ක ඒ ගමන් බිමන්වලට එකතු වෙනවා. දැන් ඉතිං ඒ පවුලෙත් ඉතිරි වුණේ දරුව විතරයි. ඒ දෙන්නගේ අවසන් කටයුතු සිද්ද කළේ අයියාගේ හදල තිබුණ ඉඩමේ.

වන්දනා ගමන අතරමග ජීවිත වන්දනාවෙන් සමුගත් එකම පවුලේ දස දෙනා හැරුණ කොට ජීවිතක්‍ෂයට පත් මාතලේ පදිංචි සුජිත් ප්‍රසන්නත් මිල්ලෑව මාදම්පේ විඡේරත්නලාගේ පවුලත් අතර තිබී ඇත්තේ සහෝදරත්වය තරමටම ලෙන්ගතු මිත්‍රත්වයකි. කොළඹ ජාතික රෝහලේ සේවය කළ භෞත විකිත්සක මෙම අනතුරින් මිය ගිය අමල් ගුණරත්න මාතලේ ප්‍රදේශයේ සේවය කළ අවදියේ එම මිත්‍රත්වය ගොඩනැඟê ඇති අතර එය තවදුරටත් ශක්‌තිමත් වී ඇත්තේ මියගිය සුජිත් ප්‍රසන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට පැමිණීමත් සමඟය. අමල් හා ඔහු අතර වු මිත්‍රත්වය ඔවුන් දෙපළට පමණක්‌ සීමා වූ එක්‌ක නොව අමල්ගේ පවුලේ සියල්ලන්ටම සුජිත් යනු තම බාල මළනුවන් තරමටම ආදරණීය මිතුරෙකු වී ඇත. මාතලේ පිහිටි සුජිත්ගෙ නිවසේ වන ඕනෑම කටයුත්තකට අමල්ගේ නිවසේ සියල්ලන් සහභාගීවීමත් අමල් ඇතුළු ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ ඕනෑම කටයුත්තකට මාතලේ සිට සුජිත්ගේ පැමිණීමත් කලක පටන් සිදු වී ඇති අනිවාර්ය දෙයක්‌ය. ඔහු යාපනයේ යන වන්දනා ගමනට අමල්ගේ පවුලේ පිරිස සමඟ එකතුවන්නේ ඉහත සඳහන් සමීප මිතුදම හේතුවෙන්ය.

ඩබ්ලිව්. ඒ. විඡේරත්න මහතාගේ වැඩිමහල් පුතුණුවන් වන ලහිරු මධුශංක (25) හොරණ ශ්‍රිපාලි විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර ඔහුගේ අධ්‍යාපනය සඳහා වන සෑම වියදමක්‌ම දරා ඇත්තේ ඔහුත් සමගින් අවසන් ගමන් ගිය බාප්පා ඇතුළු නැන්දලා පිරිස විසින්ය. එම බැදීම කොපමණද යත් සුජිත් තම අම්මා සහ තාත්තාගේ සෙවණට යන්නේ රැය පහන් කිරීම සඳහා පමණක්‌ය. පාසල් වියේදී මෙන්ම පරිගණක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන අතරද ඔහුගේ දින චරියාවේ අනිවාර්ය අංගයක්‌ වී ඇත්තේ රාජකාරිය නිම වී නිවසට පැමිණි සැනින් අසල පිහිටි තම ඥාතිවරුන්ට අයත් නිවෙස්‌වෙත ගොස්‌ දිනපතා රාත්‍රී ආහාරය ගෙන නැවත තමන්ගේ නිවසට පැමිණීමය. ඒ පිළිබඳව ද විඡේරත්න මහතාට පැවසීමට යමක්‌ ඇත.

“පුතාට මගේ අක්‌කලා කියල දීපු දෙයක්‌ තමයි දවල් දවසෙ කොහොම වෙතත් රෑට අම්ම තාත්ත ළඟට යන්න ඕනෑය කියන එක. දරුවගෙ සියලු වියදම් මේ අය දරුවත් මගෙ පුතා මේ අයට කොච්චර සමීපව හිටියත් මේ අනතුර සිද්ධ වෙන දවස වෙනකම් එයා ඒ උපදෙස්‌ පිළිපැද්දා.

අද මට මගේ දරුව නෑ. සහෝදර සහෝදරියො නෑ. දැන් ඉන්නේ මේ දරු පැටව් දෙන්නයි මගේ නෝනයි ලොකු අක්‌කයි විතරයි. එදා මේ ගමනට මගේ ලොකු අක්‌කගේ පවුලේ අයත් යන්න හිටියෙ. ඒත් අන්තිමේදී අක්‌කගෙ දරුවෙක්‌ අසනීප වුන හින්ද ඒ අයට යන්න බැරි වුණා.

සමහරවිට ඒ ගෙදර අයයි අපි හතර දෙනයි මේ ගමනට සහභාගී වුණා නම් මෙහෙම විපතක්‌ නොවෙන්නත් තිබුණා. එහෙම ගියා නම් අපි කට්‌ටියම යන හින්ද කුලියට වාහනයක්‌ අරන් තමයි යන්න වෙන්නෙ. කොහොම නමුත් හීනෙකින්වත් හිතපු නැති වෙලාවක මගේ පවුලේ සාමාජිකයන්ට මෙහෙම විපතක්‌ වුණාට අපි කාටවත් වරදක්‌ නපුරක්‌ කරපු අය නෙවෙයි කියන එක මම හොඳටෝම දන්න දෙයක්‌.

මරණය යනු නියත වශයෙන්ම ඕනෑම කෙනෙකු හට උරුම වන්නක්‌ය. හොරණ මිද්දෙනිය ප්‍රදේශය පමණක්‌ නොව රටම කම්පාවට පත් කරමින් එකම පවුලේ දස දෙනෙකු ඇතුළු තවත් එක්‌ පුද්ගලයෙකු මරණයට පත් කරමින් නිමාවු චාවකච්ෙච්රිය රිය අනතුර සියල්ලන් තුළම රිදුම් උපදවන්නේ වටිනාකම් රැසක්‌ සහිත පුද්ගලයන් පිරිසක්‌ එකම තැන එකම මොහොතක්‌ තුළ මරණයට පත්වීම හේතුවෙන්ය. ඔවුන් පිළිබඳ තතු විත්ති සොයා බැලීම පිණිස ඉකුත් දා අප හොරණ මිද්දෙණිය ප්‍රදේශයට ගිය මොහොතේ ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක්‌ කියා සිටියේ මියගිය පිරිස රටටම ආදර්ශයක්‌ වන ආකාරයේ දිවි පෙවතක්‌ ගත කල පරමාදර්ශී මිනිසුන් බවත් ඔවුන්ව අහිමි වී යැම ප්‍රදේශයට පිරිමසාලිය නොහැකි පාඩුවක්‌ බවත්ය.

දෙපස සාරවත් තේ සහ පොල්වගාවක්‌ මැදින් ඇති මාවතක කෙළවරට වන්න පිහිටා ඇති මිය ගිය එකම පවුලේ සහෝදර සහෝරියන් තිදෙනෙකුට අයත් නිවෙස්‌ තුනට මදක්‌ නුදුරින් ඇති නිහඬ වටපිටාවෙන් යුත් බිමක මිය පරලොව ගිය එකම පවුලේ හත් දෙනෙකුගෙ සිරුර මිහිදන් කොට තිබූ අතර අපට වටපිටාවේ පවා දැකගත හැකිව තිබුණේ පාළු හුදකලා බවක්‌ය. බැකෝ යන්ත්‍රය ආධාරයෙන් කණින ලද විශාල මිනීවලක්‌ තුළ ඔවුන්ව එකට මිහිදන් කොට ඇත්තේ සසර පතාගෙන පැමිණි ගමනක කෙළවර යෑයි හැගෙන විට පවා උපදින්නේ කම්පාව මුසු හැඟීමකි. අප එම නිවසට යන විටත් ලෝකයම අහිමි වූ මිනිසෙකු සේ ගැඹුරු කල්පනාවක ගිලි සිටි ඩබ්ලිව්. ඒ. විඡේරත්න මහතා තම පුතුවන ලහිරු ඇතුළු සහෝදර සහෝදරියන් හත් දෙනෙකු අහිමි වීමෙන් උපන් කළුවර පලවා හරින්නේ කෙසේදැයි කවුරුන් විසින්දැයි අපෙන් පවා විමසන්නට වූ අතර එයට දෙන්නට පිළිතුරු අප සතුව ද නොවිය.

රුවන් ජයවර්ධන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.