Gossip

අනේ ජනපති මාමේ, මට අම්මා බලා ගන්න, එක සැරයක් හරි ලංකාවට ගෙන්වා දෙන්න

child

මම ලොකු වෙලා රස්සාවක් කරලා අම්මට කන්න බොන්න දීලා සලකන්නම්. මගේ අම්මා මම දැකලා නැහැ. රට ගිහින් අවුරුදු හතරකින් අම්මා කතා කළේ නැහැ. දැන් මට තාත්තත් නැහැ. අම්මත් නැහැ. අනේ ජනාධිපති මාමේ මගේ අම්මා මට බලාගන්න ලංකාවට එක පාරක් හරි ගෙන්වා දෙන්න. ඊට පස්සේ මම අම්මා බලාගන්නම් මොනවා හරි කරලා. දිඹුලාගල පැළෑටියාව ගම්මානයේ 09 හැවිරිදි අනූපමා දිල්රුක්‍ෂි දැරිය හඬා වැලපෙමින් එම ඉල්ලීම කළාය.

දිඹුලාගල පැළෑටියාව අංක 424 පදිංචිව සිටි එම්.බී. හේමලතා 37 වියැති එක්දරු මව සෞදියේ ගෘහ සේවයට ගොස් වසර හතරක් ගත වුවද මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති නිසා දිල්රුක්‍ෂි එලෙස දිවා රෑ හඬා වැලපෙන්නේ ගමම කඳුළු ගංගාවක් බවට පත් කරමිනි.

2012 අගෝස්තු 08 වැනිදා සෞදියේ ගෘහ සේවයට හේමලතා පිටව ගියේ ස්ථිර නිවෙසක් හදා දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදලක් උපයා ගැනීමේ අරමුණ ඇතිවය. දිඹුලාගල පැළෑටියාව කනිෂ්ඨ විද්‍යාලයේ මේ වන විට 4 වසරේ අධ්‍යාපනය ලබන 09 හැවිරිදි අනූපමා දිල්රුක්‍ෂි තම මව ගෙන්වා දෙන ලෙසට දිවා, රෑ හඬා වැලපෙමින් අධ්‍යාපනය පවා කඩාකප්පල් වන තරමට මානසික මට්ටම පහළ වැටී ඇති බව පවුලේ ඥාතීහු පවසති.

“මගේ දුව සෞදියට ගියේ 2012දී. ගිහින් අපිට කතා කළේ තුන් පාරයි. ඒ කතා කරලත් කීවේ මට කරදරයි. කන්න දෙන්නේ නැහැ. ගෙදර අය වධ දෙනවා කොහොම හරි ලංකාවට ගෙන්වා ගන්න කියලා. ඊට පස්සේ කතා කළේම නැහැ. පස්සේ මමයි මගේ ලේලියි විදේශ සේවා එකට පැමිණිලි කරන්න ගියා. ඒ අය විස්තර ලියාගෙන අපිට කෝල් කරන්නම් කීවා. පැමිණිලි පිටපතක් දුන්නේ නැහැ. රට ගිය දුවට ඉන්නේ එකම දුවයි. එයා ඉන්නේ මා ළඟ. රෑ හීනෙන් පවා බයවෙලා කෑ ගහනවා, අඬනවා, අම්මා ගෙන්වලා දෙන්න කියලා. ඉතින් මම ලෙඩෙක්. හරිම අසරණයි. දැන් මිනිපිරිය ඉස්කෝලෙ යන්න බෑ කියනවා. දුව රට ගිය අවුරුද්දෙම එයාගෙ මහත්තයා වෙනත් කසාදයක් කරගත්තා. මිනිපිරිය අම්මා දැක්කෙම නෑ කියලා අඬනවා. අනේ මගේ දුව ඉන්න තැනකින් ලංකාවට ගෙන්වා ගන්න ජනාධිපතිතුමාත්, විදේශ සේවා ඇමැතිනියත්, රජයත් මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. විදේශගතව සිටින හේමලතාගේ මව වන 68 වියැති එම්.එම්. සුදුමැණිකා මහත්මිය එලෙස හඬාවැලපෙමින් ප්‍රකාශ කළාය.

“අනේ මාමේ මගේ අම්මා දැකලම නැහැ. අම්මා ඉන්න තැනකින් ගෙන්වලා දෙන්න. මට අම්මගෙන් උදවු එපා. ගෙවල් එපා. මම ඉගෙනගෙන රස්සාවක් කරලා අම්මට සලකන්නම්. නැත්නම් කුලී වැඩ කරලා හරි අම්මට මම සලකනවා. මට මගේ අම්මා බලන්න ලංකාවට ගෙන්වලා දෙන්න. මට දැන් අවුරුදු නවයයි. අම්මා රට යද්දි අවුරුදු හතරයි. මට තව මේ ගමේ නැන්දලා රට ගිහින් එද්දී මට මගේ අම්මා එනවා වගේ මැවිලා පේනවා. ඒත් අවුරුදු හතරක් ගියත් මගේ අම්මා ආවේ නැහැ.

වැලිකන්ද -ප්‍රසාත් සමන්
මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top