Political

ඇමැති-මන්ත්‍රි වැටුප් වැඩි කරන්න ඕනෑ මට ලැබෙන්නේ බිරියටත් වඩා අඩු වැටුපක් – අගමැති

ranil

‘මන්ත්‍රිවරුන්ගේ, ඇමැතිවරුන්ගේ වැටුප වැඩි කළ යුතුයි. මගේ භාර්යාව මට වඩා වැඩි වැටුපක් ගන්නවා’ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

‘මේවා කියනකොට මට මාධ්‍යයෙන් බනීවි. මම කියනවා මන්ත්‍රිවරයකුට තමන්ගේ ආසනයේ වැඩකටයුතු කරන්න එක් මන්ත්‍රිවරයකුට මාසයකට රුපියල් ලක්ෂයක් දෙන්න ඕනෑ.

පාර්ලිමේන්තුවට බලතල දුන්නට වැඩක් නැහැ. මන්ත්‍රිවරුන්ට වැඩ කරන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් මේ කිසි දෙයක් කරන්න ලැබෙන්නෙ නැහැ. ඉන්දියාවේ නම් මන්ත්‍රිවරුන්ට ගුවන් බලපත්‍රයක් දෙනවා.

එක් මාධ්‍යවේදියෙක් මට කිව්වා පින් කරල කියල. මන්ත්‍රිවරුන්ට ලැබෙන තරම් අපට ලැබෙන්නෙ නැහැ කිව්වා. විද්‍යුත් මාධ්‍යවේදියෙක් තමා එහෙම කිව්වේ.

මාධ්‍ය හිතනවා නම් ජාතික සමඟිය නැති කෙරෙන ප්‍රවෘත්ති පළකරල තමන්ගේ අලෙවිය වැඩි කර ගන්න, ඒකට ඉඩ දෙන්න බැහැ. ඒ අය ගැනත් අපට බලන්න සිද්ධ වෙනවා. ජාතික සමඟියට හානි වන අන්දමට කටයුතු කරන්න අප ඉඩ දෙන්නෙ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය වැඩිදියුණු කළාම පර්යේෂණ කරන්න අවශ්‍ය නිලධාරීන් අපි ලබාදෙනවා. පාර්ලිමේන්තුවට ඒ වැඩකටයුතු කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒකෙන් රටට වාසියක් වෙන්නේ නැහැ. අවාසියක් වෙන්නේ.
ගරු සභාපතිතුමනි,

මට තව කාරණා දෙකයි කියන්න තිබෙන්නේ. එක කාරණයක් විගණකාධිපති ගැන. විගණන පනත් කෙටුම්පත ඇති කළේ එක්සත් ජාතික පක්ෂයේ අපියි. දැන් ඒකට අධිභාරය ගැන අලුත් කොන්දේසියක් දමන්න තිබෙනවා. අධිභාරය ගැන කොන්දේසියක් දමනවාට පරිපාලන නිලධාරීන් විරුද්ධයි. ඒකට හේතුවක් තිබෙනවා.

අධිභාරය කියන්නේ විධායක බලයක්. විධායක බලය තිබෙන්නේ විධායකයට සහ කැබිනට් මණ්ඩලයටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 ව්‍යවස්ථාව යටතේ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට අමාත්‍යවරයා භාරයේ ඇති දෙපාර්තමේන්තු හා ආයතන අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව මෙහෙයවීමේ බලය තිබෙනවා. උසාවියෙන් කරන්නේ නැත්නම් දඩ ගහන එක, අධිභාර දමන එක කරන්න තිබෙන්නේ විධායකයටයි. රේගුවට ඒ බලතල තිබෙනවා. ගුවන් තොටුපොළට තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තිබෙනවා. ඒ පරිපාලන, විධායක බලතල. ඉල්ලන්නේ විධායක බලතල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිට කිසිම බලයක් දීලා නැහැ. බලය දීලා තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව පාර්ලිමේන්තුවට නීතියක් සම්මත කර ගන්න බැහැ. එහෙම නම් තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙයි. අපි එතැනට යනවාද, නැද්ද? මම නම් කියන්නේ එතැනට යන්න ඕනෑ කියා. මේවා පත්‍රවල ප්‍රසිද්ධ කරන එකත් වැරැදියි.

පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඒක කළේ නැහැ. එහෙම නම් අපි මේ ප්‍රශ්නය මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා කරලා විධායකයෙන් අයින් කරලා බලය දෙනවාද කියලා එතැනින් තීරණයක් ගනිමු. එතකොට විගණකාධිපතිගේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පාර්ලිමේන්තුවට වාර්තා කරන්න විගණකාධිපති වාර්තා හදන්නේ නැතිව, විගණන වැඩකටයුතු කරන්න වෙනම සමාගමකට දැම්මොත්, ඒ සමාගමට බැහැ අපට දඩ ගහන්න. ඒගොල්ලෝ කිව්වාට පස්සේ ඒ නිර්දේශ උඩ සමාගමට නැත්නම් සංස්ථාවට පුළුවන් වෙනම දඩයක් ගහන්න. ඒ පුද්ගලයාට බැහැ. අන්න ඒකයි තිබෙන්නේ. ඔයගොල්ලෝ වාර්තාව දෙන්න, වාර්තාව අනුව තීරණය කරන්න පුළුවන් වැඩකටයුතු සිදුවුණාද නැද්ද කියලා. ඒ ගැන අපක්ෂපාතීව කටයුතු කරන්න ඕනෑ.’

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top