Paper Gossip

Facebook නිසා ලංකාවට අත්වෙලා තියෙන ඉරණම

Facebook

අපේ රටේ සමාජ රෝග පිළිබඳ ඉතිහාසය කවදා ආරම්භ විණි දැයි කිව නොහැකි වුවත් ඒ ඉතිහාසය තුළ ඒඩ්ස්‌ රෝගය තරම් මුළු ලොවම අභියෝගයකට ලක්‌ කළ වෙනත් සමාජ රෝගයක්‌ නැති තරම්ය. සමාජ රෝග ව්‍යාප්තවීම වැළක්‌වීම සඳහා අතීතයේ දී අපේ රටේ ඇති කළ අණ පනත් ඒඩ්ස්‌ වැනි සමාජ රෝග ව්‍යාප්තිය වැළැක්‌වීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. සමාජ රෝග මර්දනය සඳහා අපේ රටේ ක්‍රියාත්මක වන අණ පනත් සහ වර්තමානය හා සසඳන කළ ඒවායේ පවතින දුබලතා පිළිබඳවත් ඒඩ්ස්‌ වැනි සමාජ රෝග ව්‍යාප්තවීම වැළැක්‌වීම සඳහා වෙනස්‌ විය යුතු සමාජ ආකල්ප පිළිබඳවත් හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

සමාජ රෝග මර්දනය සඳහා අපේ රටේ ක්‍රියාත්මක වන අණපනත් මොනවාද?

මේ සඳහා සෘජුව බලපාන පනත් 3 ක්‌ අපේ රටේ තිබෙනවා. 1889 ඇති කළ ගණිකා මඩම් ආඥා පනත, 1842 හඳුන්වා දුන් අයාලේ යැමේ ආඥා පනත සහ 1907 අවදානම් සහිත රෝග බෝකිරීම නැවැත්වීම සඳහා පරිවාසයක රඳවා ගැනීම සඳහා වන පනත. දණ්‌ඩ නීති සංග්‍රහයේ 365 ඒ නැතහොත් අස්‌වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ පනතත් මීටම අදාළයි.

ජනගහනය අනුව බැලුවොත් ලෝකයේ බොහෝ රටවලට වඩා අපේ රටේ ඒඩ්ස්‌ ව්‍යාප්තිය අඩුයි. 2020 වන විට එය අපේ රටේ මුළුමනින්ම නතර කරන්න පුළුවන්. එසේ කරන්න නම් මේ පනත්වලට යම් යම් සංශෝධන කළ යුතුයි. නැතිනම් අලුත් පනත් ඇති කළ යුතුයි.

මේ පැරණි අණපනත්වල වලංගු භාවය වර්තමානයට නොගැලපෙන්නෙ කොහොමද?

අපේ රටේ ගණිකා මඩමක්‌ පවත්වාගෙන යනවා නම් හෝ තමන්ගේ ස්‌ථානයක්‌ ඒ සඳහා ලබා දී තිබෙනවා නම් ඒ තැනැත්තා අත්අඩංගුවට ගෙන නඩු පවරනවා. ඒ ස්‌ථානය ගෙයක්‌, කාමරයක්‌ හෝ මෝටර් රථයක්‌ විය හැකියි. මේ ස්‌ථාන වරෙන්තුවක්‌ නැතිව වටලන්න පොලිසියට පුළුවන්. නමුත් පොලිසිය වටලන්නෙ සාමාන්‍ය පීඩිත පන්තියේ තැන්. කවදාවත් පොලිසිය තරු පහේ හෝටල් වටලන්නෙ නෑ.

අපේ රටේ ගණිකා වෘත්තිය නීති විරෝධී නෑ. නමුත් මේ වෘත්තියේ යෙදෙන කාන්තාවක්‌ උපාය දූතයෙක්‌ යොදල අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරල රුපියල් සීයක හෝ පන්සියයක පමණ දඩමුදලක්‌ නියම කරනවා. අයාලේ යැමේ ආඥා පනතට අනුව මෙලෙස අත්අඩංගුවට ගත්තත් අද මේ පනත් ලෝකේ කොහේවත් නෑ. මේවා අපේ රට ගවන්මන්ට්‌ ඔෆ් සිලෝන් කාලේ ගෙනාපු පනත්.

මේ අතීත පනතට අනුව අද බස්‌ නැවතුම් පළක හෝ ප්‍රසිද්ධ ස්‌ථානයක රැඳී ඉන්න කාන්තාවක්‌ යමෙකු පොලඹවාගෙන තම ශරීරය විකිණීමට උත්සාහ දරනවා නම් ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනවා. අත්අඩංගුවට ගන්නෙ ගණිකාවක්‌ ලෙස නෙමෙයි. අයාලේ යැමේ වරදට. මේකට අහුවෙන්නෙත් අපේ රටේ පීඩිත පන්තියේ අය. ප්‍රසිද්ධ නිළියො, ධනවත් කාන්තාවො මේකට අහුවෙන්නෙ නෑ. එක්‌ සමාජ පන්තියක අය විතරක්‌ අත්අඩංගුවට අරගෙන රුධිරය පරීක්‌ෂා කළා කියල ඒඩ්ස්‌ ව්‍යාප්ත වීම වළක්‌වන්න බෑ.

කැසිනෝ සමග අද ඒඩ්ස්‌ ව්‍යාප්ත වෙනවා. තායිලන්තය, රුසියාව වැනි රටවලින් ගණිකාවෝ විශාල ප්‍රමාණයක්‌ අපේ රටට එනවා. පැයකට රුපියල් පහළොස්‌ දහස පමණ අයකරල මාස ගණන් ඉඳල මේ අය ආපසු යන්නෙ කෝටිපතිනියන් වෙලා. බදු අයකළොත් අපේ රටේ අයවැය පරතරය අඩුකරගන්න හැකිවන තරම් මුදලක්‌ මේ අයගෙන් එකතු කරගන්න පුළුවන්. මේ ගණිකාවො සොයා එන ඇතැම් ගනුදෙනුකරුවන් කොන්ඩම් පලඳින්න කැමති නෑ. මේ නිසා ඒඩ්ස්‌ පැතිරීම වේගවත් වුවත් එය වළක්‌වන්න ක්‍රමයක්‌ නෑ.

ඊළඟට අස්‌වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් තිබෙන 365 ඒ වගන්තිය. අස්‌වාභාවික ලිංගික ක්‍රියා ලෙස අර්ථකථනය කරන්නෙ පුරුෂයන් පුරුෂයන් සමග සහ ස්‌ත්‍රීන් ස්‌ත්‍රීන් සමග සිදුකරන ලිංගික ක්‍රියා. අස්‌වාභාවික නැතහොත් සමලිංගික ක්‍රියා නීති විරෝධී කර තිබෙන විට ඒ හේතුවෙන් ඒඩ්ස්‌ වැළඳුණු කිසිවෙක්‌ සායනවලට එන්නෙ නෑ. නමුත් අද අපේ රටේ සමලිංගික ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙහිම වර්ධනයක්‌ පෙන්නුම් කරනවා. ඒඩ්ස්‌ ව්‍යාප්තිය අඩු මට්‌ටමට පවත්වාගෙන යැමට නම් ඒඩ්ස්‌ වැළඳුණු පුද්ගලයින් සායනවලට යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා මේ අය පිළිබඳ සමාජයේ ඇති ආකල්පවල වෙනසක්‌ අත්‍යාවශ්‍ය වෙනවා. සමලිංගික ක්‍රියා සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීතිවල යම් ලිහිල් කිරීමක්‌ අවශ්‍ය වෙනවා. එය සමලිංගිකත්වයට දක්‌වන අනුග්‍රහයක්‌ නොව සමාජයේ ඔවුන් පිළිබඳ ඇති ආකල්පවල වෙනස්‌ ඇති කර ඔවුන් හඳුනාගෙන කැමැත්තෙන්ම සායනවලට යොමුකර ඔවුන් නිසා සිදුවන ඒඩ්ස්‌ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් සිදුකළ යුත්තක්‌.

අපේ රටේ ඒඩ්ස්‌ රෝගය පැතිරීම වැළැක්‌වීමට ෆේස්‌ බුක්‌ නැතහොත් මුහුණු පොත විශාල බාධාවක්‌ බව පැවසෙනවා. මෙය සිදුවෙන්නේ කෙසේද?

අද අපේ රටේ තරුණ තරුණියන් සැනෙකින් දැනහඳුනාගෙන සබඳතා ගොඩනගා ගන්නවා. මේ තාක්‌ෂණික මෙවලම ඒ සඳහා උපකාර වන සුවිශේෂ මෙවලම්වලින් යුක්‌තයි. මේ ඔස්‌සේ දැනහඳුනා ගන්නා අය මුණගැසෙන්නට ස්‌ථාන සලසා දීමටත් මුහුණු පොතෙන් පහසුකම් සැපයෙනවා. මේ සඳහා අනුග්‍රහය දක්‌වන ඇතැම් සුපිරි හෝටලද තිබෙනවා. මුහුණු පොත තුළින් සබඳතා ගොඩනගාගෙන ඒ ඔස්‌සේම තෝරාගන්නා ස්‌ථානයන්හිදී මුණගැසී විවිධ ලිංගික අඩන්තේට්‌ටම්වලට ගොදුරු වූ විශාල පිරිසක්‌ නීතියේ පිළිසරණ පැතුවද ෆේස්‌බුක්‌ තුළින් සිදුවන මේ අපචාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන පැරණි අණපනත් තුළ නෑ. ඒඩ්ස්‌ ව්‍යාප්තවීම මැඬලීමට මුහුණු පොත අද ප්‍රබල බාධකයක්‌ වී හමාරයි.

ඒඩ්ස්‌ ව්‍යාප්තිය අවම කිරීම සඳහා අපේ රටේ වර්තමාන සමාජ ආකල්ප වෙනස්‌ විය යුත්තේ කෙසේද?

ලිංගික ක්‍රියාවන් තුළින් සහ රුධිර පාරවිලයනයේ හැර වෙනත් කිසිදු ආකාරයකින් ඒඩ්ස්‌ පැතිරෙන්නේ නෑ. එමනිසා ඒඩ්ස්‌ වැළඳුනු කෙනෙකු කොන් කිරීමෙන් හෝ ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඒඩ්ස්‌ ව්‍යාප්ත වීම වැළැක්‌වීම අපහසුයි. එසේම ඒඩ්ස්‌ රෝගය පිළිබඳ දැනුම්වත් භාවය ඉතාමත් අවශ්‍යයි. ලිංගික අධ්‍යාපනය ලෙස හෝ සිසුසිසුවියන්ට මේ පිළිබඳ දැනුම ලබාදීම තුළින් මේ රෝගය පිළිබඳ අවබෝධයක්‌ ක්‍රමයෙන් සමස්‌ත සමාජය තුළම ඇති කළ හැකියි. බොහෝ අය තමන් ඒඩ්ස්‌ රෝගීන් බව දැනගන්නේ වෙනත් අවශ්‍යතාවකට සිදුකරන රුධිර පරීක්‌ෂාවකිනුයි. මේ තත්ත්වය වළක්‌වාගන්නට හැකිවන්නේ විශේෂයෙන් යෞවන යෞවනියන් තුළ මේ පිළිබඳ අවබෝධයක්‌ ඇතිකිරීමෙන්. තරුණ පාසල් දරුවන්ට ටැබ් දෙන එක හොඳයි. නමුත් අධ්‍යාපන වෙබ් අඩවිවලට පමණක්‌ පිවිසිය හැකි සේ එය සකසා දෙන්නේ නම් එය දරුවන්ට කරන විශාල සේවයක්‌ වේවි. එසේ නොවුණහොත් අන්තර් ජාලයෙන් සෙක්‌ස්‌ සොයා ලෝක වාර්තාවක්‌ පිහිටවූ අපේ රට තව බොහෝ කාලයක්‌ ඒ වාර්තාව සුරැකිව රැක ගනීවි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top