Paper Gossip

ශ්‍රී ලාංකිකයෝ 32 ක්‌ අයි.එස්‌. සංවිධානයේ

isis

මෙරට පුද්ගලයන් තිස්‌ දෙදෙනකු සිරියාවට ගොස්‌ අයි එස්‌ අයි එස්‌ ISIS සංවිධානය හා සම්බන්ධව සිටින බවද ගුරුවරුන් බව පවසමින් මෙරට මුස්‌ලිම් පාසල්වලට පැමිණෙන විදෙස්‌ පුද්ගලයන් කිහිපදෙනකු දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළත් කරන බවද කී අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා ජාත්‍යන්තරය කුමක්‌ ප්‍රකාශ කළත් අවශ්‍ය වුවහොත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යළි ක්‍රියාත්මක කරන බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයිඑස්‌ අයි එස්‌ සංවිධානය කෙරෙහි ජනතාව තුළ විශාල බියක්‌ ඇතැයි කී ඇමැතිවරයා මෙරට ක්‍රියාත්මක විදේශ බුද්ධි අංශ කිහිපයක්‌ ඔස්‌සේ අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවුල් හතරකට සම්බන්ධ පුද්ගලයන් තිස්‌ දෙදෙනකු අයි එස්‌ අයි එස්‌ සමඟ සම්බන්ධ වීමට සිරියාවට ගොස්‌ ඇති බව යෑයිද ප්‍රකාශ කළේය.

මේ අය සාමාන්‍ය පවුල්වල අය නොවේ. උගත් සමාජ වැදගත් කමක්‌ ඇතැයි පිළිගන්නා, පවුල්වල අය. බේරුවල, කල්මුණේ කල්එළිය සහ කුරුණෑගල මුස්‌ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පවත්වන්නට සංචාරක වීසා මත පිරිස්‌ එනවා. ඔවුන් මේ දරුවන්ගේ මනසේ අන්තවාදය වපුරනවා. දරුවන්ගේ මනස විකෘති කරනවා. බරපතළ ගැටලුවක්‌ ඇතිවෙමින් තිබෙනවා.

තවුපික්‌ ජමාද්, ජමාතේ ඉස්‌ලිම්, තව්ලික්‌ ජබාද්, සුන්නත්වැල් ජමාද් නමින් නිකායන් හතරක්‌ තියෙනවා. ඔවුනොවුන් ගහ මරා ගන්නවා. මිනි මැරුම් සිදුව තිබෙනවා. බරපතළ සිද්ධීන් 15 ක්‌ වාර්තා වී තිබෙනවා. ඔවුන්ගේ අභ්‍යන්තර අරගලය රටේ අරගලයක්‌ ලෙස පත්කර රට යළි අරාජික කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

සමහර වෙබ් අඩවි නීති විරෝධී ලෙස කටයුතු කරමින් ජාතික සමගිය විනාශ කරනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්‌තියි.

ජාත්‍යන්තරය කුමක්‌ කීවත් මේ වගේ ජාතිවාදී ප්‍රශ්නවලින් රට ලේ විලක්‌ කිරීමට දරන උත්සාහය වෙනස්‌ කරන්න ඕනෑ. මෙතෙක්‌ ක්‍රියාත්මක නොකර තිබූ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අපි ක්‍රියාත්මක කරන්න සූදානම්, කිසිම සමාවක්‌ නෑ. නීතිය දරදඬුයි. අපි නීතිය ක්‍රියාත්මක කරනවා.

ලංකා ඊ නිව්ස්‌ වෙබ් අඩවිය පසුගිය මාස කිහිපය තුළ අපේ රටේ විනිසුරුවරුන් විවේචනය කරන අවශ්‍ය කරන සිද්ධීන් හැත්තෑ අටක ප්‍රමාණයක්‌ කර තිබෙනවා. විනිසුරුවරුද අසරණයි, ඔවුන්ට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා කරුණු ඉදිරිපත් කරන්න අවස්‌ථාවක්‌ නෑ.

සඳරුවන් කවුද රටින් පන්නපු පුලන්නෙක්‌. ඔහු මාධ්‍යකරුවෙක්‌ නොවේ. පවුම් 100 ක්‌ දීලා මඩ ගහන්න කිව්වොත් හෙට ඕනෑම දෙයක්‌ ලියයි. ඔහු ලන්ඩනයේ හිටියත් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක්‌ නිකුත් කරලා රටට ගෙන්වලා නඩු අහනවා යෑයි විජයදාස රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කළේය.

අය-වැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියෑවීමේ විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.