Gossip

සිදුවීමට ගිය මහා දුම්රිය අනතුර වළක්වා ලංකාවේ ආබාධිත දෙදරු පියකු කළ වික්‍රමය

උතුරු දුම්රිය මාර්ගයේ 108 3/4 කිලෝමීටර් කණුව අසලින් රේල් පිල්ලක් කැඩී වෙන්ව ගොස් තිබෙන අයුරු දැක කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා මගීන් විශාල පිරික් රැගෙන ධාවනය වූ යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රිය රතු රෙදි කඩක් වනා සංඥාකර නවතා සිදුවීමට ගිය මහා විනාශයක් වළකාලීමට තඹුත්තේගම පදිංචි ආබාධිත දෙදරු පියකුට ඊයේ (14දා) සවස හැකිවී තිබේ.

වැවවාන, තඹුත්තේගම ලිපිනයේ පදිංචි කලකට ඉහත විදේශයකදී සිදුවූ දරුණු අනතුරකින් බරපතළ තුවාල ලබා ඇසක් අහිමිව සිටින එස්.ඩබ්ලිව්. විජිත (44) මහතාගේ අවධානය මේ කෙරෙහි යොමුවීම හේතුවෙන් එම දුම්රිය පීලිපැන පෙරළී ගොස් මගී ජීවිත සිය ගණනකට සිදුවීමට ඉඩ තිබූ අනතුර වළක්වා ගැනීමට හැකිවී තිබේ.

ඊයේ (14දා) සවස 3.25ට පමණ පසළොස්වක පොහෝය නිමිත්තෙන් විහාර ස්ථානයේ සිල් සමාදන්වී සිටින උවසු උවැසියන්ට ගිලන්පස රැගෙන යෑමට උතුරු දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දී උතුරු දුම්රිය මාර්ගයේ අංක 10 බැදිවැව ගම්මානය ආසන්නයේ (තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථානය අතර) රේල් පීල්ලක අඩි තුනක පමණ ප්‍රමාණයක් කැඩී වෙන්ව තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමැතුම් (119) අංශයට වහාම දන්වා තිබේ.

එම දැන්වීම කර විනාඩි කිහිපයක් ගතවෙද්දී මගීන් රැගත් දුම්රිය තඹුත්තේගම සිට සෙනරත්ගම දෙසට වේගයෙන් ධාවනය වන හඬ ඇසුණු ආබාධිත දෙදරු පියා වහාම නිවෙසට දිව ගොස් රතු පැහැති ටීෂර්ටයක් රැගෙන විත් දුම්රිය මඟේ අනතුරක් ඇති බැවින් වහාම දුම්රිය නවතන ලෙස රතු ටීෂර්ටය වනමින් රියැදුරුට අනතුරු අඟවා තිබේ. දුම්රිය මඟේ අනතුරක් ඇති බව දැනගත් දුම්රිය රියැදුරා හා නියාමකවරුන් වහාම දුම්රිය තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

දුම්රිය නතර කළ රියැදුරු ඇතුළු නිලධාරීන් දුම්රියෙන් බැස මාර්ගය පරීක්‍ෂාවට ලක්කරද්දී දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබෙන අයුරු දැක තිබේ. විජිත මහතා අනතුර දැක තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු නොකළේ නම් දුම්රිය පීලිපැන මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව දුම්රිය නිලධාරීන් පැවැසූ අතර ඒ වන විට දුම්රිය මගීන් 2,500ක් පමණ යාල්දේවී දුම්රියේ මැදිරි නවයේ ගමන් කළ බව වාර්තා විය.

මාර්ගය කැඩීයෑම දුම්රිය පාලක මැදිරියට දැන්වීමෙන් අනතුරුව නඩත්තු ඒකකය වහාම එහි ගොස් දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබූ අතර ඒ හේතුවෙන් ඊයේ(14දා) සවස උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට පැයකට වැඩි කාලයක් බාධා එල්ලවී තිබිණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.