Paper Gossip

මනමාල මහල්ලන් ගොනාට අන්දන ටෙලි නිළියන්

actres

දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන අතවර සහ හිංසාකාරී දේ පිළිබඳව මේ තීරය ඔස්සේ නිතර සාකච්ඡාවට බඳුන් වෙයි. අප ඒ පිළිබඳව කොතෙක් කතා කළත් රටේ හතරදික්බාගයෙන්ම ළමා අපචාර සහ කාන්තාවන්ට සිදුවන හිංසා පීඩා පිළිබඳ පුවත් දිනකට එකක් හෝ අසන්නට දකින්නට ලැබේ. බොහෝ විට අවුරුදු 5-6 කුඩා දරු දැරියන් දූෂණයට ලක් කොට පසුව මරා දමා ගඟකට හෝ කැලයකට තල්ලු කරදමා සාහසිකයා පලා ගිය පුවත් එසේ මාධ්‍ය මඟින් වාර්තා කරනු ලබයි.

අපට බොහෝ විට දකින්නට ලැබෙන්නේ එවැනි සිද්ධියක් මාධ්‍යයකට හසු වුවහොත් එය දින ගණනාවක් එක දිගට වාර්තා කරන අන්දමය. එවන් වාර්තාවල අතවරයට හෝ දූෂණයට ලක්වූ දරු දැරියන්ගේ හෝ කාන්තාවන්ගේ මවුපියන්ගේ පටන් ඡායාරූප, වීඩියෝ දර්ශන මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලබයි. අතවරයට ලක්වූ අයගේ මළ සිරුර හමුවූ විට එය පවා යම් මට්ටමකින් මාධ්‍ය මඟින් පෙන්වනු ලබයි. පසුව අදාළ සිදුවීමට චෝදනා ලබන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත් වීම සහ උසාවියට ඉදිරිපත් කිරීමද කලින් ඒවාට වඩා අඩු ඉඩක් ලබා දෙමින් මාධ්‍ය මඟින් වාර්තා කරනු ලබයි. බොහෝ විට සිදුවන්නේ ඉන් අනතුරුව රටටත් මාධ්‍යයටත් මේ සිදුවීමත් සිදුවීමට චෝදනා එල්ල වූ පුද්ගලයනුත් අමතකව යෑමය. චූදිතයා වරදකරු වී බන්ධනාගාරගත වුවහොත් එතැනින් එහා සිදුවන දෙයක් පිළිබඳව බොහෝ විට මාධ්‍ය මඟින් වාර්තා වන්නේ නැත. බොහෝ විට අපට මෙවන් දූෂණ සහ අතවර කිරීම් පිළිබඳව නිතර අසන්නට ලැබෙන්නේ ඒවාට වැරැදිකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාරගත වීමත් ඇතැම් විට ඔවුන්ට මරණීය දණ්ඩනය නියම වුවද ඔවුන්ව මරණ දඬුවමට ලක් නොකරන බැවින් විය හැකිය.

අරණායක ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූයේ අවුරුදු 13ක දැරියක් තරුණයන් 11 දෙනකු අතින් දූෂණයට ලක්වීමේ පුවතකි. සිද්ධියෙන් පසුව ප්‍රදේශයේ බලධාරීන් ඒ පිළිබඳව කටයුතු කළ ආකාරය සොයා බැලීමේදී හෙළිවූයේ මෙවන් තත්ත්වයකි. පළාතේ ඇමැතිවරයකුගේ ලේකම්වරයෙක් සිදු කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව වාර්තාවක් පරිවාස කොමසාරිස්ගෙන් ඉල්ලීමය. ඒ ආකාරයට නිලධාරීන් බොහෝ පිරිසක් අතර වාර්තා සහ ලියුම් හුවමාරු වී ඇත. එයින් අපට හැඟෙන්නේ මෙවන් බරපතළ තත්ත්වයක් සිදුවී පසුව පවා වගකිව යුත්තන් කරන්නේ ලියුම් හුවමාරු කර ගැනීම පමණක්ද යන්නය. ප්‍රදේශයේ සමාජසේවා ආයතන, උසස් රාජ්‍ය නිලධාරීන් මිනිසුන්ගෙන් මනාපය ඉල්ලා ගෙන පැමිණෙන දේශපාලනඥයන් පමණක් නොව දරුවන් වෙනුවෙන් කටයුතු කරන බව පවසන රාජ්‍ය නොවන සංවිධාන පවා තිබේ. එහෙත් මේ සිදුවීම්වලින් පෙනෙන්නේ වගකිව යුත්තන් අතර ලියුම් හුවමාරුවක් පමණක් සිදුවනවාද යන්නය.

මදුරාවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වී තිබුණේ බාල වයස් දැරියන් විවාහ වීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවය. විවාහ වීමට තරම් ශාරීරික සූදානමක් නොමැති වීමත් නිසි ලෙස පවුල් සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනයක් බාලවයස් දැරියන් හට නොමැති වීමත් මෙහි ඇති බරපතළ කාරණයය. අනෙක් අතට මෙය මදුරාවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට පමණක් සීමා වී ඇති ප්‍රශ්නයක් නොවේ. රටේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල තත්ත්වය සොයා බැලුවහොත් එම ප්‍රදේශවලින්ද බාලවයස් දැරියන් විවාහ වීම සහ ගැබ් ගැනීම දක්නට ලැබෙනු ඇත. මෙම තත්ත්වය පාලනය කිරීමට නම් මූලිකව කළ යුත්තේ පාසල් අධ්‍යාපනයට මෙම කරුණු කාරණා ඇතුළත් කර පවුල් සෞඛ්‍ය පිළිබඳව සහ ලිංගික අධ්‍යාපනය නිසි ලෙස ලබා දීමය. අම්මා කෙනෙක් වෙන්නට තරම් ශරීරය සූදානම් නොමැති කාලයක ගැබ් ගැනීම මඟින් ගර්භණී මවටත් ඇගේ කුස තුළ සිටින දරුවාටත් ඇති අවදානම පාසල් මට්ටමේ සිටම අවබෝධ කර දිය යුතුය. ඊට අමතරව ඒ ඒ ප්‍රදේශවල රෝහල් මඟින් පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මඟින්ද මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා යම් දායකත්වයක් ලබා ගත හැකිය.

ටෙලි නිළියන් යැයි කියා ගන්නා රූමත් කාන්තාවන් දෙදෙනෙක් මනමාල මහල්ලන් මුළා කර ඔවුන් සතු දේ පැහැරගෙන ගොස් ඇති පුවතක්ද පසුගියදා වාර්තා කර තිබිණි. නිළියන් යැයි කියා ගත් එම කාන්තාවන් දෙදෙනා මනමාල මහල්ලන් කිහිප දෙනකුම මුළා කර ඔවුන් සතු රත්රන් මුදු, මාල ආදිය පැහැරගෙන පලා ගොස් තිබේ. එසේ පැහැරගත් රත්රන් මුදු, මාලවලින් කොටසක් ඔවුන් උකස් තබා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.

1925 සිට තවමත් නිසි දියුණුවක් නොලැබූ ගමක් ගැනද පසුගියදා අසන්නට ලැබිණි. එම ගමේ නිවාස ප්‍රශ්න, ජල ප්‍රශ්න විසඳී නැත. 1925 සිට පදිංචිව සිටියත් පදිංචිකරුවන්ට ඉඩම් බලපත්‍ර ලබා දී නැත. මට නම් සිතෙන්නේ මෙය 1925 සිට දියුණුවන අරුම පුදුම ගමක් ලෙසටය.

එල්මෝ ගුණරත්න
මව්බිම පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.