Paper Gossip

කළුබෝවිල රෝහලම කම්පාවට පත්කරමින් අවසන් ගමන් ගිය හොදම හෙද සොහොයුරියගේ කතාව

ඉපදෙන කොයි කවුරුත් මරණයට පත්වන වග සැබෑය. එහෙත් යමකු අකාලයේ මිය යැම ජීවත්ව සිටින අපට දරාගත නොහැකි ශෝකයක්‌ ඇති කරයි. රඹුටන් කාලෙට රඹුටන් ඇට සිරවී කිරි දරුවන් මිය යැමේ සිට දිනපතා සිදුවන මාරක අනතුරුවලින් මිය යන පිරිස එලෙස මියෑදෙන්නේ අකාලයේය. මේ අතරට ඩෙංගුවලින් මියෑදෙන පිරිස්‌ එක්‌වූ කල අකාලයේ මියෑදෙන ගණන අපමණය. යුද්ධය පැවැති කාලයේ තරුණ පුතුන් රට වෙනුවෙන් දිවි පුදා ගමට ගෙන එන විට ගම පමණක්‌ නොව මුළු රටම අනේ අපොයි කියමින් හඬා වැටුණ හැටි අපට අමතක නැත. ඒ සියලු මරණ අකාලයේ සිදුවී ජීවත්ව සිටින අයට සදාකාලික ශෝකයක්‌ ඉතිරි කරති.

මේ කියන මරණයද එවැනි මරණයකි.

මියගිය ඇය තිස්‌තුන් හැවිරිදි ගැබිනියකි. ඇය නමින් ධනුෂිකා උදයංගනීය. රැකියාව ලෙස කළේ හෙද සේවාවය. හෙදියකවූ ඇය දහස්‌ ගණන් රෝගීන්ට උපස්‌ථාන කරමින් ලැබූ සතුට ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.

මැය කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියන් අතර කැපී පෙනුනේ කාගෙත් සිත දිනාගත්, කාර්යශූර, මානව දයාවෙන් පිරිපුන් හෙදියක්‌ ලෙසිනි. රෝහලට එන රෝගීන්ට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇය වරෙක මවක වෙමින් හෙදකම් කළාය.

මේ හෙදිය සිය කුළුඳුල්a දරුවා ලබන්නට සිටියේ දෑස්‌ දල්වා ගෙනය. දින යෙදී තිබුණේ පසුගිය 26 වැනිදාටය. ඇය සේවය කළ කළුබෝවිල රෝහලට ඇතුළත් වූයේ උණ ගතියක්‌ ගතට දැනුණු නිසාය. වෛරස්‌ උණකැයි කියමින් ඇය රෝහලේ ගැබිනි වාට්‌ටුවට ඇතුළත් කරගත් වෛද්‍යවරු තීරණය කළේ 21 වැනිදා සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කිරීම වඩාත් හොඳ බවය.

ඒ අනුව සිසේරියන් සැත්කමට සියල්ල සූදානම් වූ පසු ඇයව ප්‍රසූතිකාගාරයට රැගෙන යද්දී මේ හෙදියගේ සැමියාත්, ඥාතීනුත් නොඉවසිල්ලෙන් බලා සිටියේ කුළුදුල් දරුවාගේ මුහුණ බැලීමටය. සැමියාත්, ඥාතීනුත් එක්‌වී පඬුරක්‌ ගැට ගැසුවේද සුබවාදීව සියල්ල සිදුවේ යෑයි ප්‍රාර්ථනා කරමිනි. සැත්කම සාර්ථකය. කුළුඳුල් දරු පැටියා පුතෙකි. ඒ පුතුගේ මුහුණ දුටු ඒ දිනයේ පියාට දැනුන සතුට ජීවිතයේ ලද ලොකුම සතුටය. ඥාතීන්ටද එසේය.

එහෙත් මවට වැළඳුන උණ රෝගය නිසා ඇය සිටියේ තරමක අමාරුවෙනි. කුළුඳුල් දරුවා වැදූ මව දකින කල සැමියාගේ සිත ද, ඥාතීන්ගේ සිත්ද තරමක්‌ සසල විය. මේ අතර ඇගේ රෝගී තත්ත්වය උත්සන්න විය. කළුබෝවිල රෝහලේ කාර්ය මණ්‌ඩලයේ තිස්‌ දෙනෙකුටම ඩෙංගු රෝගය වැළඳී ඒ අයද තවත් තුන්සියයක්‌ පමණ වූ ඩෙංගු රෝගීන් සිටි වාට්‌ටුවල ප්‍රතිකාර ලබමින් සිටියහ.

ධනුෂ්කා උදයංගනි නමැති අපි කියන මේ හෙදිය කුළුඳුල් දරුවා ප්‍රසූත කළ පසු ඇයගේ උණ රෝගය කුමක්‌දැයි යන්න ඒ වනවිටත් තහවුරු වී නොතිබිණි. ඇයගේ රෝගී තත්ත්වය හිටි හැටියේ උත්සන්න වූයේ ඔය අතරය. සහෝදර හෙදියන්ද, කනිෂ්ඨ කාර්ය සහායිකාවන්ද, වෛද්‍යවරුද යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් සිය කාර්ය මණ්‌ඩලයේ රෝගී හෙද මවට ප්‍රතිකාර කළේ විශේෂත්වයක්‌ද කරමිනි. නමුත් ඇය හදිසියේම අවසන් හුස්‌ම පොද වාතලයට මුසු කළේ මුළු රෝහලම හඬවමිනි. ඇගේ සැමියාගේ නෙතින් වැටුණ කඳුළු ළය පලා නැගි ඒවාය.

කොයි කවුරුත් මේ සිදුවූ නස්‌පැත්තියෙන් දුකට පත්ව සිටියහ. ඒ අතර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද විය.

“අපිට අපේ හෙදියව මරණයෙන් ගලවා ගන්නට නොහැකි වුණා. ඒ කාගෙත් සිතට වද දුන්නේ සිතුවිල්ලය.

කළුබෝවිල රෝහලේ සිටි හොඳම නර්ස්‌ නෝනලා අතර සිටි හොඳම නර්ස්‌ නෝනා යන්නටම යන්න ගියේ මුළු රෝහල් කාර්ය මණ්‌ඩලයම හඬවමිනි. මේ කිසිවක්‌ නොදත් පුතු මවගේ උණුසුම සොයමින් සිටින හැටි බලන්නට බැරි දසුනකි. පියාට දැනෙන විප්‍රයෝගයේ හැඟුම් මොනතරම් වේදනාබරද?

ඩෙංගු මදුරුවකු කළ විනාශය, කිරිකැටි බිලිඳෙකුට මවගේ උණුසුම අහිමි කර ඇත. සැමියාට සිය බිරිඳ අහිමි කර ඇත.

මේ පියාට දැනෙන ඒ දුක කීමට කදිම ගේය පද පෙළක්‌ ප්‍රවීණ ගී පද රචක ප්‍රේමනාත් ජයතිලක මහතා අතින් ලියෑවී ඇත. ඒ ගීය ගයන්නේ කේ. සේන මහතාය. කුළුඳුල් දරුවා බිහිකර සුරලොවට ගිය කළුබෝවිල රෝහලේ හිත හොඳ නර්ස්‌ගේ අකල් වියෝව පිළිබඳ කෙටි සටහන අවසන් කරන්නට ඒ ගීයේ පද කිහිපයක්‌ මෙලෙස සටහන් කිරීම ප්‍රමාණවත්ය.

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ… මැයෙන් ගැයෙන ඒ ගීයේ පද පෙළ මේ විප්‍රයෝගයේ තරම කියනු ඇතැයි මම විශ්වාස කරමි.

හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
අප දෙන්නා අඳුරු ලොවක තනිකර දා පුතේ
නුඹෙ අම්මා දිව්‍ය ලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා… ඈ සුරලොව ගියා…
සුර විමනක වැදී… මගෙ රන්කඳ නීදි….

 

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

ශිරාන් රණසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.