Gossip

කැලෑවකදී මියගිය ස්‌වාමියාගේ දේහය ළඟ ඉඳ කවුරුත් නොකරන වැඩක් කළ බලු පැටියා

නෑදෑ ගමනක්‌ යමින් සිටියදී හදිසි හෘදයාබාදයකට මුහුණ පා කැලෑබද ස්‌ථානයකදී මියෑදුණු සිය හාම්පුතාගේ මළ සිරුර අසළ පැය ගණනක්‌ තිස්‌සේ රැඳී සිටිමින් ඔහුගේ බිරිඳ එහි පැමිණෙන තුරු රැකවරණය ලබාදුන් බව කියන බලු සුරතලකු පිළිබඳව හෙම්මාතගම ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

සිය දියණියගේ නිවස බලා යමින් සිටියදී ඉකුත් දා සවස කැලෑබද ප්‍රදේශයකදී හදිසි හෘදයාබාදයක්‌ සැදී මියගිය දෙවනගල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එම්. උක්‌කු බංඩා නමැති දෙදරුපියාගේ මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී මේ බව අනාවරණය විය. එගොඩපත තනිපේරුව පත්තුව හදිසි මරණ පරීක්‍ෂක එම්. ඒ. හේරත් බංඩාර මහතා විසින් සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කොට මාවැනැල්ල මුලික රෝහලේදී මෙම හදිසි මරණ පරීක්‍ෂණය සිදු කරන ලද අතර එහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි වලදී ඉහත කී සිද්ධීය හෙළි විය. මළ සිරුර තිබුණු ස්‌ථානයට කිසිදු අයකුට ළගා විය නොහැකි ලෙස රැකවල් යොදමින් බුරමින් ගොරවමින් පැමිණි පිරිස්‌ බියගැන්වීමට උත්සාහ කළ අතර ගෙහිමියාගේ බිරිඳ වන පි. ජී. විමලාවතී යන අය එහි පැමිණ බලු සුරතලා මෙල්ල කර ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් මාවනැල්ල මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරි උදිත ද සිල්වා මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර එම වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්‍ෂිවලට අනුව මෙය හදිසි හෘදයාබාදයකින් සිදු වූ මරණයක්‌ බවට නිගමනය කළේය.

හෙම්මාතගම පොලිසියේ පො.සැ. 30270 ලක්‍ෂමන් මහතා විසින් මේ පිළිබඳ පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු සිදු කරන ලදී.

මෙහිදී මියගිය අයගේ නම තල්ගස්‌පිටිය තැබරව ප්‍රදේශයේදී පා පැදි අනතුරකින් මිය ගිය පුද්ගලයාගේ නම ලෙස සදහන් වී තිබුණේ ප්‍රමාද දෝෂයකිනි. එම පා පැදි අනතුරින් මියගොස්‌ ඇත්තේ හෙම්මාතගම තල්ගස්‌පිටියේ පදිංචිව සිටි වෙදගෙදර පියසේකර නම් මහතෙකි. සිදුවූ ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් එම පවුල්වල සාමාජිකයන්ට අපගේ කනගාටුව පළවේ.

අරණායක – ගරුමුණි තිලකරත්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.