Gossip

රටටම ලයිට් ගිය එක ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්‌

Ranil

මුළු දිවයිනටම බලපාන අයුරින් විදුලි බලය බිඳවැටීම සම්බන්ධයෙන් සියලු තොරතුරු මෙම 23 වැනිදා විදුලිබල ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 වැනිදා) විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. පෙරේදා (13 වැනිදා) මුළු දිවයිනටම බලපාන අයුරින් විදුලිබලය බිඳවැටීම නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩාලව අප සැමටම බොහෝ අපහසුතාවන්ට හා දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවිණි.

මේ පිළිබඳව රජය වෙනුවෙන් බලවත් කනගාටුව පළ කර සිටින්නෙමි.

කෙටි කාලයක්‌ තුළ මේ අයුරින් විදුලිය බිඳවැටුණු තුන්වැනි අවස්‌ථාව මෙයයි. එය ඉතා බරපතළ තත්ත්වයකි. මෙවැනි සිදුවීම් සඳහා තවදුරටත් සමාව දිය නොහැකිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මා සමඟත්, අදාළ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සමඟත් සාකච්ඡා කොට උපදෙස්‌ ලබා දුන් අතර ඊයේ (14 වැනිදා) දහවල් මාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්‌ ද පැවැත්විණි.

එහිදී මේ අයහපත් තත්ත්වය පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කිරීමට තීරණය කෙරුණු අතර විදුලිබල ඇමැති විසින් සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු මෙම 23 වැනි දා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනු ඇත.

අනාගතයේ මෙවැනි තත්ත්වයක්‌ ඇති නොවීම සඳහා අවශ්‍ය තිරසාර පියවර ගැනීම ආණ්‌ඩුවක වගකීමකි. වර්තමානයේ පවත්නා තත්ත්වය උදාවීමට හේතු වූ කරුණු සොයා බලා දීර්ඝකාලීන පියවර ගැනීම ද අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.

මෙම සාකච්ඡාවේදී නැවත අවධාරණය කෙරුණු ප්‍රධාන කරුණක්‌ වූයේ විදුලිබල උත්පාදනය පිළිබඳ දූරදර්ශී සැලැස්‌මකින් තොරව කටයුතු කිරීමේ විපාක අද දවසේ විඳින්නට සිදුවී ඇති බවය.

මීට කලින් විදුලිබල ශක්‌ති උත්පාදනය හා බෙදාහැරීම සම්බන්ධව පැවැත්වූ සාකච්ඡා වට කීපයක්‌ම වූ අතර, වර්තමානයට හා අනාගත අභියෝගයන්ට සරිලන නිසි සැලැස්‌මක්‌ විදුලිබල මණ්‌ඩලය සතුව තිබුණේ නැත. ඒ නිසා මණ්‌ඩලයට පරිබාහිර දේශීය හා විදේශීය උපදේශකවරුන්ගේ සේවය ලබා ගනිමින් නව සැලැස්‌මක්‌ සකස්‌ කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින්නෙමු.

විදුලි බිඳවැටීම් සඳහා වගකිව යුතු පාර්ශවයන් හෝ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමේ පරීක්‍ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවද මෙහිලා සිහිපත් කරමු.

ජනතා වරමින් අප බලයට පත් වූයේ ජනතා අභිලාෂයන් ඉටුකරලීමටය. එහෙයින් ජනතාවට හැම විටම අඛණ්‌ඩ විදුලිබල සේවාවක්‌ ලබා දීමට අවශ්‍ය කෙටිකාලීන හා මධ්‍ය කාලීන විසඳුම් සෙවීමට අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. ඒ සඳහා අවශ්‍ය වන්නාවූ ප්‍රතිසංස්‌කරණ, ප්‍රතිසංවිධාන හෝ ප්‍රතිව්‍යූහගත කිරීම් ඉටුකරලීමට ද අපි කටයුතු කරන්නෙමු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top