Gossip

කැබිනට් එක ඇතුලේ වෙන අලකලංචි

මේ සතියේ තිබුණු කැබිනට් මණ්ඩල රැස්විම සෑහෙන උණුසුම් වුණාලූ. හරීන් ප‍්‍රනාන්දු ඇමතිතුමා කැබිනට් එකේදි බාල්දියක් පෙරලනවා කියලා කල් ඇතුවම කියලා තිබුණු හින්දා මොකක් හරි වෙයි කියලා කැබිනට් රැස්වීම පටන් ගන්න කලින් ඉඳලම ඇමතිවරු දැනගෙන හිටියා.

හරීන් ඇයි බාල්දි පෙරලන්න ගියේ කියලා කල්පනා කරනවා ඇති නේ. ඇයි අර ඇවන්ගාඞ් සිද්ධිය ගැන හරීන්ටත් රාජිත ඇමතිතුමා චෝදනා කරලා තිබ්බනේ.

ඒ අල්ල පනල්ලෙ රාජිතගේ පුතා, ඒ කියන්නෙ චතුර සේනාරත්න හරින්ගේ අමාත්‍යාංශයට ගිහින් තොරතුරු හෙව්වා කියලා චෝදනාවකුත් තිබ්බානේ.
ඒ හින්දා ඒ සිද්ධි දෙකටම කැබිනට් මණ්ඩලයෙදි දෙන්නම් බැටේ කියලා තමයි හරින් ලෑස්ති වෙලා හිටියෙ.

කිව්වත් වගේ කැබිනට් රැස්විම පටන් ගෙන ටිකක් වෙලා යද්දි හරීන් කතා කරන්න පටන් ගත්තා.
‘‘මට මේ සමහර ඇමතිවරු එක එක චෝදනා කරලා තිබුණා ඇවන්ගාඞ් එකත් එක්ක ඈඳලා. මම කළේ මාධ්‍ය සාකච්ඡාවකදි මගේ මතය කියපු එක විතරයි. ඊට පස්සෙ රාජිතලා චම්පිකලා මං ගැන එක එක කතා කියන්න පටන් ගත්තා.’’

මේ වෙලවේ රාජිත කැබිනට් රැස්වීමට ඇවිල්ලා හිටියෙ නැහැ. එතුමා විදේශගතවෙලා හිටපු නිසා තමයි ඇවිත් හිටියෙ නැත්තෙ.
හැබැයි චම්පික හිටියා.

හරින් ටිකක් සැර විවේචනයක් කළත් චම්පික උත්තර නොදී සිනහා වෙමින් හිටියා.
කොහොම වුණත් රාජිත තමන්ව විවේචනය කිරීම ගැන හරීන් තදින් කතා කරද්දි ජනාධිපතිතුමා මැදිහත් වුණා.
‘‘ හරීන් කලබල වෙන්නෙ එපා. රාජිත එදා එහෙම කියපු වෙලාවෙම මම රාජිතට කෝල් කළා. කෝල් කරලා කිව්වා ඒ විදිහට කතා කරන්න එපා කියලා.’’
ජනාධිපතිතුමා හරීන්ව සන්සුන් කළේ ඒ විදිහට.

මේ අතරේ කැබිනට් මණ්ඩලයෙදි ධීවර ඇමති මහින්ද අමරවීර ඇමතිතුමා තලතා අතුකෝරල ඇමතිතුමිය එක්ක පොඩි පටලැවිල්ලක් හදාගෙන.
ඒකට මුල්වුණේ කොරියා රැකියා ප‍්‍රශ්නයක්.

දැන් ධීවර ක්ෂේත‍්‍රයේ රැකියාවලට කොරියා යවන්න කට්ටිය තෝර ගන්නකොට ධිවර කර්මාන්තය ගැන දන්න අය තමයි තෝරගන්න ඕනේ.
එහෙම නැතුව පහුගිය කාලේ බෝට්ටුවකට නැගපුවත් නැති අය ධීවර රස්සාවලට යවලා තියෙනවා. එහෙම වුණාම වෙන්නෙ ඒගොල්ලො වෙන රස්සාවලට පනිනවා. මේකට තලතා ඇමතිතුමිය උත්තර දුන්නා.
‘‘මම එහෙම කරලා නෑ.’’
‘‘ඇයි නැත්තෙ රත්නපුරේ අය තෝරගෙන ඉන්නවා.’’
ධිවර ඇමතිතුමා මෙහෙම කියද්දිම ජනාධිපතිතුමා අපුරු ප‍්‍රශ්නයක් ඇහුවා.
‘‘රත්නපුරෙත් ධිවරයෝ ඉන්නවද..?’’
ජනාධිපතිතුමාගේ ප‍්‍රශ්නෙට කැබිනට් මණ්ඩලයේ හැමෝම හිනා වෙන්න පටන් ගත්තා.

මේ අතරේ තලතා තවත් අපුරු කතාවක් කිව්වලූ. ‘‘ජනාධිපතිතුමනි, කැබිනට් රැස්වීම්වලදි සමහර ඇමතිවරු මොබයිල් ෆොන් ඔන් කරගෙන ඉන්නවා කියලා කතාවක් ගියා. සමහරු අපිටත් විහිලූ කරනවා ඕගොල්ලොත් ෆොන් ඔන් කරනවද කියලා. මේක මහ ලැජ්ජාවක්. ඒ හින්දා කැබිනට් මණ්ඩලයට ෆෝන් ගේන එක තහනම් කරන්න වෙයි.’’

මේකටත් ජනාධිපතිතුමා සිනවා වෙන ගමන්ම ටිකක් ගැඹුරු උත්තරයක් දුන්නා.
‘‘එහෙම කරන්න මේක ඉස්කෝලයක් නෙමෙයිනෙ. නීතිදාලා තහනම් කරන එක නෙමෙයි වැඬේ. ඇමතිවරු දැනගන්න ඕනේ ඒ වගේ වැඩ නොකර ඉන්න. ’’ ජනාධිපතිතුමා කිව්වා.

මේ අතරේ අධ්‍යාපන ඇමතිතුමාගේ යෝජනාවකටත් පොඩි විරෝධතාවක් මතු වුණාලූ. පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් එකක් දෙන්න අධ්‍යාපන ඇමතිතුමා ගෙනාපු යෝජනාවට සමහරු කැමති වුනේ නැහැ.
‘‘මේ වෙලාවෙ  ඕක කරන්න යන්න එපා.  ඕක ආණ්ඩුවට විරුද්ධ බෝම්බයක් වෙන්නත් බැරි නැහැ.’’
පාසල් නිල ඇඳුම් සංකල්පය ගෙනාපු ආර්.පේ‍්‍රමදාස මහත්තයාගේ පුත‍්‍රයා වෙච්ච සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමා කිව්වා.
තාත්තා ගෙනාපු හොඳ යෝජනාවක් යටපත් කරන්න යනවා කියලා සජිත්ට හිතෙන්න ඇති.
හැබැයි අධ්‍යාපන ඇමතිතුමා කිව්වෙ නිල ඇඳුම් මුවාවෙන් සිදු කෙරෙන අක‍්‍රමිකතා වලක්වන්න මේ පියවර ගන්නාව කියලයි.
කොහොම වුණත් ඒ පති‍්‍රකාව විරෝධතා මැද්දෙ වුණත් සම්මත වුණා.
මේ අතරේ පළාත් පාලන ඡන්දෙදි කාන්තාවන් 25% ක් ඉදිරිපත් කරන්න ඕනේ.

ඇයි අර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා අලූත් ඡන්ද ක‍්‍රමයක් ගේන කැබිනට් පති‍්‍රකා දෙකත් අනුමත වුණේ මේ රැස්විමේදී. ඒ කියන්නෙ ආයෙත් අපේ රටේ ජනාධිපතිවරණ නැහැ. ඒ කියන්නෙ බලතල ලැබෙන්නෙ අගමැති ප‍්‍රමුඛ පාර්ලිමේන්තුවට.

ජනාධිපතිතුමා අගමැතිකමට ඉල්ලනවා කියලත් පහුගිය සතියේ කතාවක් පැතිරුණා නේ..පහුගිය දවසක පත්තරේක එහෙම ප‍්‍රවෘත්තියකුත් ගිහින් තිබුණා.
මේ ගැනත් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයෙදි කතාබහ කළා.

‘‘මම ඊළඟට අගමැතිකමට ඉල්ලනවා කියලා එක පත්තරේක දාලා තිබුණා.ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒ අය මොන අරමුණකින්  ඕවා ලියනවාද දන්නෙ නැහැ.‘‘ ජනාධිපතිතුමා බොහොක කණස්සල්ලෙන් කතා කළා.

ඒ කියන්නෙ ජනාධිපතිතුමා ආයෙත් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.